7. 1. 4. 7.
පටිසම්භිදා සච්ඡිකරණ සූත්‍රය
[සැවැත් නිදානයි]
38. “කරුණු සතකින් යුක්ත භික්‍ෂුතෙම කල් නොයවාම සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය. කවර සතකින්ද යත්?
මෙය මාගේ සිතෙහි මැලිබවයයි තත්වූ පරිදි දනියි. ආධ්‍යාත්මිකවූද, සංක්‍ෂිප්ත (හැකුළුණ) සිත ආධ්‍යාත්මික සංක්‍ෂිප්ත සිතයයි තත්වූ පරිදි දනියි. බාහ්‍යවූ වික්‍ෂිප්ත (විසිරුන) සිත බාහ්‍යවූ වික්‍ෂිප්ත සිතයයි තත්වූ පරිදි දනියි. ඕහට සප්පාය අසප්පායයෙහි දන්නේම වේදනාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. දන්නේම සංඥාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. දන්නේම විතර්කයෝ උපදිත්, දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. හෙතෙම ඔහුගේ ප්‍රඥාවෙන් හීන ප්‍රණීත ධර්‍මයන්ද, කළු සුදු සප්‍රතිභාගයන්හි (සමානව පෙනෙන දෙයෙහි) නිමිත්ත මනාකොට සිහි කරණ ලද්දේ උපධාරණය කරණ ලද්දේ (සලකන ලද්දේ) ප්‍රතිවේධ කරණ ලද්දේ (තේරුණු) යහපත්සේ ගන්නා ලද්දේ වෙයි.
කරුණු සතකින් යුක්ත භික්‍ෂුතෙම කල් නොයවාම සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය.”
7. 1. 4. 8.
8. දුතියපටිසම්භිදාසුත්තං
සැවැත් නුවර නිදානයි.
39. “කරුණු සතකින් යුත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. කවර සතකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය මාගේ සිතේ මැලිබවයයි තත්වූ පරිදි දනියි. ආධ්‍යාත්මිකවූ, සංක්‍ෂිප්ත (හැකුළුණ) සිත මාගේ සංක්‍ෂිප්ත (හැකුළුණ) සිතයයි මනාකොට දනියි. බාහ්‍යවූ වික්‍ෂිප්ත (විසිරුණු) සිත බාහ්‍යවූ මාගේ වික්‍ෂිප්ත (විසිරුණු) සිතයයි තත්වූ පරිදි දනියි. සප්පාය අසප්පායයෙහි ඕහට (ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට) දන්නේම වේදනාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්.
දන්නේම සංඥාවෝ උපදිත්. දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. දන්නේම විතර්කයෝ උපදිත්, දන්නේම වැටහෙත්. දන්නේම නැතිවෙත්. ප්‍රඥාවෙන් හීන ප්‍රණීත ධර්‍මයන්ද, කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාගයන්හි නිමිත්ත මනාකොට සිහි කරණ ලද්දේ උපධාරණය කරණ ලද්දේ ප්‍රතිවේධ කරණ ලද්දේ යහපත්සේ ගන්නා ලද්දේ වෙයි.
කරුණු සතකින් යුත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසිඹියා තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.”
7. 1. 4. 9.
9. මිත්තවසවත්තන සූත්‍රය
සැවැත් නුවර නිදානයි.
40. “මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ භික්‍ෂුව සිත වසඟකොට නොවෙසෙයි. කවර සතකින්ද යත්?
මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව සමාධියට දක්‍ෂවේද, සමාධියට සමවැදීමේ දක්‍ෂවේද, සමාධියට සමවැද සිටීමේ දක්‍ෂවේද, සමාධියෙන් නැගිටීමේ දක්‍ෂවේද, සමාධියට සුදුසු දක්‍ෂකමින් යුක්තවේද, සමාධියට සුදුසු භූමිය සෙවීමේ දක්‍ෂවේද, සමාධි අභිනිහාරයට (ප්‍රාර්ථනාවට) දක්‍ෂවේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ භික්‍ෂුව සිත වසඟකොට නොවෙසෙයි.
7. 1. 4. 10.
10. දුතියවසසුත්තං
සැවැත් නුවර නිදානයි.
41. “මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ශාරීපුත්‍ර ස්ථවිරතෙම සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ ශාරීපුත්‍ර ස්ථවිරතෙම සිත වසඟකොට නොවෙසෙයි. කවර සතකින්ද යත්?
මහණෙනි, මේ සස්නෙහි ශාරීපුත්‍ර ස්ථවිරතෙම සමාධියට දක්‍ෂවේද, සමාධියට සමවැදීමේ දක්‍ෂවේද, සමාධියට සමවැද සිටීමේ දක්‍ෂවේද, සමාධියෙන් නැගිටීමේ දක්‍ෂවේද, සමාධියට සුදුසු දක්‍ෂකමින් යුක්තවේද, සමාධියට සුදුසු භූමිය සෙවීමේ දක්‍ෂවේද, සමාධි අභිනිහාරයට දක්‍ෂවේද,
යන මේ ධර්‍ම සතින් යුක්තවූ ශාරීපුත්‍ර ස්ථවිරතෙම සිත වසඟකොට වෙසෙයි. නොඑසේවූ ශාරීපුත්‍ර ස්ථවිරතෙම සිත වසඟකොට නොවෙසෙයි.”