7. 1. 3. 1.
1. සාරන්‍දද අපරිහානිය සූත්‍රය
21. “මහණෙනි, මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ සාරන්‍දද නම් චෛත්‍ය ස්ථානයෙහි වැඩවාසය කරණ සේක.
එකල්හි වනාහි බොහෝ ලිච්ඡවිවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණුනහ. එසේ පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියහ. එසේ සිටියාවූ ඒ ලිච්ඡවිවරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ලිච්ඡවීනි, තොපට සප්ත අපරිහානීය ධර්මයන් දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට සිහි කරව්. දේශනා කරන්නෙමි.” යි (වදාළ සේක.) “එසේය, ස්වාමීනි,” යි ඒ ලිච්ඡවිවරු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“ලිච්ඡවීනි, සප්ත අපරිහානිය ධර්මයෝ කවරහුද?
(1) ලිච්ඡවීනි, යම්තාක් වජ්ජීහු නිතර නිතර රැස්වෙත්ද, රැස්වීම් බහුලකොට ඇත්තෝද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(2) “ලිච්ඡවීනි, යම්තාක් වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව වජ්ජීන් විසින් කටයුතු දේ කෙරෙද්ද ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(3) “ලිච්ඡවීනි, වජ්ජීහු යම්තාක් නොපැණවූවක් නොපණවද්ද, පැවූදේ නොසිඳිද්ද, යම් සේ පණවන ලද පුරාණ වජ්ජි ධර්මයන් සමාදන්ව වෙසෙද්ද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(4) “ලිච්ඡවීනි, වජ්ජීහු යම්තාක් ලිච්ඡවීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතද්ද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(5) “ලිච්ඡවීනි, වජ්ජීහු යම්තාක් යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවද්ද ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(6) “යම්තාක් ලිච්ඡවීනි, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්ද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(7) “යම්තාක් ලිච්ඡවීනි, වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුදැයි ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේ වේද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
“යම් හෙයකින් ලිච්ඡවීනි, මේ සප්ත අපරිහාණීය ධර්මයෝ වජ්ජීන් කෙරෙහි සිටිත්ද, මේ සප්ත අපරිහාණීය ධර්මයන්හි වජ්ජීන් යෙදෙනු පෙණෙද්ද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.”
7. 1. 3. 2.
2. වජ්ජිඅපරිහානිය සූත්‍රය
22. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජිකුළු පව්වෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි විදේහරට දේවියගේ පුත්‍රවූ අජාසත් නම් මගධ රජතෙම වජ්ජින්ට විරුද්ධව යුද්‍ධයට යන්නට කැමතිවූයේ වෙයි.
හෙතෙම මෙසේ පැවසීය: “මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි.
ඉක්බිති අජාසත් මගධ රජතෙම මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා ඇමතුවේය. ‘බ්‍රාහ්මණය, තෝ මෙසේ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙව, එසේ පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. නීරෝගීබව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණ විචාරව.
‘ස්වාමීනි, විදේහ රට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. නීරෝගී බව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණයන් විචාරන්නේය’ යනුයි. මෙසේද කියව. ‘ස්වාමීනි, අජාසත් රජතෙම වජ්ජින්ට විරුද්‍ධව යුද්‍ධයට යනු කැමැත්තේ හෙතෙම මෙසේ කීය. “මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි. ‘යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරත්ද, එය මනාව ඉගෙණ (අවුත්) මට දන්වව. තථාගතයන් වහන්සේ සිදු නොවන්නක් දේශනා නොකරයි.’ යනුයි.
“එසේය ස්වාමීනි’ යි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා අජාසත් රජුට පිළිවදන් දී අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු පිළිසඳර කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය:
“භවත් ගෞතමයන් වහන්ස, විදේහරට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. ‘සුළු ආබාධ, සුළු අසනීප, අඩුපාඩු, සැප විහරණ විචාරයි.’