7. 1. 2. 3.
3. කුලුපගමනඞ්ග සූත්රය
[සැවැත් නුවර නිදානයි]
13. “මහණෙනි, කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය. කවර සතකින්ද?
ප්රිය මනාපයෙන් හුනස්නෙන් නොනැගිටීද, ප්රිය මනාපයෙන් වැඳීම නොකෙරේද, ප්රිය මනාපයෙන් ආසනය නොදේද, ඕහට ඇති දෙය සඟවාද, බොහෝ ඇතත් ටිකක් දේද, ප්රණීත දේ ඇතත් රූක්ෂ දෙයක් දේද, සකස්කොට නොව නොසකස් කොට දේද
මහණෙනි, කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ගෙදරකට නොගියේ නම් යන්නට සුදුසුය. ගියේ නම්, හිඳගන්නටද සුදුසුය. කවර කරුණු සතකින්ද?
ප්රිය මනාපයෙන් හුනස්නෙන් නැගිටීද, ප්රිය මනාපයෙන් අභිවාදනය කෙරේද, ප්රිය මනාපයෙන් අසුන් දේද, ඕහට ඇති දේ නොසඟවාද, බොහෝ ඇතිකල්හි බොහෝ දේද, ප්රණීත දෙය ඇති කල්හි පුණීත දෙය දේද, සකස්කොට දේද නොසකස් කොට නොදේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ගෙදරකට නොගියේ නම් යන්නට සුදුසුය. ගියේ නම්, හිඳගන්නටද සුදුසුය.
7. 1. 2. 4.
4. සත්තාහුණෙය්ය සූත්රය
[සැවැත් නුවර නිදානයි]
14. “මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්යයෝය.) දක්ඛිනෙය්ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. කවර සත් දෙනෙක්ද යත්?
උභතො භාගයෙන් මිදුන තැනැත්තේය, ප්රඥාවෙන් මිදුන තැනැත්තේ හෙවත් ශුෂ්ක විදර්ශක රහතුන් වහන්සේය, නාම කායයෙන් ධ්යාන ස්පර්ශය කොට පසුව නිවන් පසක්කොට සිටි තැනැත්තේය, ශ්රද්ධාවෙන් මිදුන තැනැත්තේය, ප්රථම මාර්ග ප්රඥාවයයි කියන ලද ධර්මය සිහි කරණ තැනැත්තේය, ප්රථම මාර්ග සංඛ්යාත ශ්රද්ධාව සිහි කරණ තැනැත්තේය යන සත්දෙනය.
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්යයෝය.) දක්ඛිනෙය්ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
7. 2. 9. 5.
5. උදකූපම පුග්ගල සූත්රය
[සැවැත් නුවර නිදානයි]
15. “මහණෙනි, ජලයට බඳු උපමා ඇති පුද්ගලයෝ සත් දෙනෙක් ලෝකයෙහි විද්යමාන වෙති. “ඒ සත් දෙන කවරහුද?
මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් එක් වරක් (ජලයෙහි) ගිලුනේ ගිලුනේමය. මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් මතුවී ගිලෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී සිටියේ වෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී විශේෂයෙන් බලයි. අවලෝකනය කෙරෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී පිහිනයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී ගැඹුරට පිවිසියේ වෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී එතරවූයේ පරතීරගතවූ ඒ බ්රාහ්මණතෙම ගොඩ සිටියේ වෙයි.
(1) “මහණෙනි, කෙසේනම් පුද්ගලතෙම වරක් ගිලුනේ ගිලුනේම වේද? මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්ත කාලක (කලු) වූ අකුසල ධර්මයන්ගෙන් යුක්තවේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම වරක් ගිලුනේ ගිලුනේම වෙයි.