7. 1. 2. 10.
10. නිදස්සවත්‍ථු සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
20. “මහණෙනි, මේ නිර්දෝෂ වස්තූහු සතක් වෙති. “කවර සතක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ශික්‍ෂා සමාදානයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ශික්‍ෂා සමාදානයෙහි නොහළ පෙම් ඇත්තේ ධර්මය පිළිබඳ ඇල්මෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ධර්මය පිළිබඳ ඇල්මෙහි නොහළ පෙම් ඇත්තේ ආශාව හික්මවීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ආශාව හික්මවීමෙහි නොහළ පෙම් ඇත්තේ විවේකයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද විවේකයෙහි නොහළ පෙම් ඇත්තේ වීර්‍ය්‍යාරම්භයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, වීර්‍ය්‍යාරම්භයෙහි නොහළ පෙම් ඇත්තේ ප්‍රඥා ස්මෘතියෙහි (සිහි නුවණෙහි) දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ප්‍රඥා ස්මාතියෙහි නොහළ පෙම් ඇත්තේ සම්‍යක් දෘෂ්ටිය ප්‍රතිවේධ කිරීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද,
මහණෙනි, මේ සප්ත නිර්දෝෂ වස්තූහු වෙත්.”
දෙවැනි අනුසය වර්‍ගය නිමි.
එහි උද්දානය:
අනුසය සූත්‍ර දෙකක් ද, කුල සූත්‍රය ද, පුග්ගල සූත්‍රය ද, පස් වැනි වූ උදකූපම සූත්‍රය ද,
අනිච්ච, දුක්ඛ, අනත්ත, සුඛ සූත්‍ර ද, නිද්දසවත්ථු සූත්‍රය ද යන මෙහි සූත්‍ර දසයකි.
3. වජ්ජිසත්තක වර්‍ගය
7. 1. 3. 1.
1. සාරන්‍දද අපරිහානිය සූත්‍රය
21. “මහණෙනි, මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ සාරන්‍දද නම් චෛත්‍ය ස්ථානයෙහි වැඩවාසය කරණ සේක.
එකල්හි වනාහි බොහෝ ලිච්ඡවිවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණුනහ. එසේ පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියහ. එසේ සිටියාවූ ඒ ලිච්ඡවිවරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ලිච්ඡවීනි, තොපට සප්ත අපරිහානීය ධර්මයන් දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට සිහි කරව්. දේශනා කරන්නෙමි.” යි (වදාළ සේක.) “එසේය, ස්වාමීනි,” යි ඒ ලිච්ඡවිවරු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“ලිච්ඡවීනි, සප්ත අපරිහානිය ධර්මයෝ කවරහුද?
(1) ලිච්ඡවීනි, යම්තාක් වජ්ජීහු නිතර නිතර රැස්වෙත්ද, රැස්වීම් බහුලකොට ඇත්තෝද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(2) “ලිච්ඡවීනි, යම්තාක් වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව වජ්ජීන් විසින් කටයුතු දේ කෙරෙද්ද ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(3) “ලිච්ඡවීනි, වජ්ජීහු යම්තාක් නොපැණවූවක් නොපණවද්ද, පැවූදේ නොසිඳිද්ද, යම් සේ පණවන ලද පුරාණ වජ්ජි ධර්මයන් සමාදන්ව වෙසෙද්ද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(4) “ලිච්ඡවීනි, වජ්ජීහු යම්තාක් ලිච්ඡවීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතද්ද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(5) “ලිච්ඡවීනි, වජ්ජීහු යම්තාක් යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවද්ද ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.
(6) “යම්තාක් ලිච්ඡවීනි, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්ද, ලිච්ඡවීනි, වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තුවිය යුතුයි. පිරිහීමක් නොවේ.