7. 1. 1. 8.
8. සත්ත සංයෝජන සූත්රය
[සැවැත් නිදානයයි]
8. “මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.
“කවර සතක්ද? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, භවරාග සංයෝජනය, අවිජ්ජා සංයෝජනය,
මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.”
7. 1. 1. 9.
9. සංයෝජන සමුච්ඡේද සූත්රය
[සැවැත් නිදානයයි]
9. “මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
“කවර සතකගේද? අනූනය සංයෝජනයාගේ ප්රහාණය පිණිස බඹසර හැසිරෙයි. පටිඝ සංයෝජනයාගේ ප්රහාණය පිණිස බඹසර හැසිරෙයි. දිට්ඨි සංයෝජනයාගේ ප්රහාණය පිණිස බඹසර හැසිරෙයි. විචිකිච්ඡා සංයෝජනයාගේ ප්රහාණය පිණිස බඹසර හැසිරෙයි. මාන සංයෝජනයාගේ ප්රහාණය පිණිස බඹසර හැසිරෙයි. භවරාග සංයෝජනයාගේ ප්රහාණය පිණිස බඹසර හැසිරෙයි. අවිජ්ජා සංයෝජනයාගේ ප්රහාණය පිණිස බඹසර හැසිරෙයි.
“මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
“මහණෙනි, යම් හෙයකින් භික්ෂුවගේ අනූනය සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, පටිඝ සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, දිට්ඨි සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, විචිකිච්ඡා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මාන සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, භවරාග සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, අවිජ්ජා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මෙයින් භික්ෂුව තෘෂ්ණාව සින්දේය. සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය.
7. 1. 1. 10.
10. මච්ඡරිය සංයෝජන සූත්රය
[සැවැත් නිදානයයි]
10. “මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.
“කවර සතක්ද යත්? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්ඡරිය සංයෝජනය
යන මේ සත සංයෝජනයෝ වෙති.”
පළමුවැනි ධන වර්ගය නිමි.
එහි උද්දානය (මාතෘකා):
පිය සූත්ර දෙකයි, බලය, ධනය, සංඛිත්ත හා විත්ථත සූත්ර දෙකයි, උග්ග, සංයෝජන, පහාන හා මච්ඡරිය සූත්රයෙන් දස වැන්නයි.