7. 1. 1. 10.
10. මච්ඡරිය සංයෝජන සූත්‍රය
[සැවැත් නිදානයයි]
10. “මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.
“කවර සතක්ද යත්? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්ඡරිය සංයෝජනය
යන මේ සත සංයෝජනයෝ වෙති.”
පළමුවැනි ධන වර්‍ගය නිමි.
එහි උද්දානය (මාතෘකා):
පිය සූත්‍ර දෙකයි, බලය, ධනය, සංඛිත්ත හා විත්‍ථත සූත්‍ර දෙකයි, උග්ග, සංයෝජන, පහාන හා මච්ඡරිය සූත්‍රයෙන් දස වැන්නයි.
2. අනුසය වර්‍ගය
7. 1. 2. 1.
1. සත්තානුසය සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
11. “මහණෙනි, මේ අනුසය සතක් වෙති. කවර සතක්ද යත්?
කාමානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය.
යන මේ සත අනුසය නම් වෙති.
7. 1. 2. 2.
2. අනුසයප්පහාණ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
12. “මහණෙනි, සප්ත අනුසයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි. කවර සතකගේද?
අනූනය අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. පටිඝ අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. දිට්ඨි අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. විචිකිච්ඡා අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. මාන අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. භවරාග අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. අවිජ්ජා අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
“මහණෙනි, සප්ත අනුසයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
“මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුවගේ අනූනය අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, පටිඝ අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, දිට්ඨි අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, විචිකිච්ඡා අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මාන අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, භවරාග අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, අවිජ්ජා අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මෙයින් භික්‍ෂුව තෘෂ්ණාව සින්දේය. සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය.
7. 1. 2. 3.
3. කුලුපගමනඞ්ග සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
13. “මහණෙනි, කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය. කවර සතකින්ද?
ප්‍රිය මනාපයෙන් හුනස්නෙන් නොනැගිටීද, ප්‍රිය මනාපයෙන් වැඳීම නොකෙරේද, ප්‍රිය මනාපයෙන් ආසනය නොදේද, ඕහට ඇති දෙය සඟවාද, බොහෝ ඇතත් ටිකක් දේද, ප්‍රණීත දේ ඇතත් රූක්‍ෂ දෙයක් දේද, සකස්කොට නොව නොසකස් කොට දේද
මහණෙනි, කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය.