7. 1. 1. 1.
1. අප්පිය භික්ඛු සූත්‍රය
1. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට, “මහණෙනි” යි ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, අගරුවූයේද, අසම්භාවනීයද වෙයි.
“කවර සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය කැමැත්තේ වේද, සත්කාරය කැමැත්තේ වේද, [අවමන් නොලැබීම (ප්‍රශංසාව) කැමැත්තේ වේද], පවට ලජ්ජා නැත්තේ වේද, පවට බිය නැත්තේ වේද, පවිටු අදහස් ඇත්තේ වේද, වැරදි ඇදහීම් ඇත්තේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, අගරුවූයේද, අසම්භාවනීයද වෙයි.
“මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.
“කවර සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය කැමති නොවේද, සත්කාරය කැමති නොවේද, [අවමන් නොලැබීම (ප්‍රශංසාව) කැමති නොවේද], පාපයට ලජ්ජා ඇත්තේද, පාපයට බිය ඇත්තේද, පවිටු අදහස් නැත්තේද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.
7. 1. 1. 2.
2. අමනාපභික්ඛු සූත්‍රය
[සැවැත් නිදානයයි]
2. “කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, ගරු නොවූයේද, අසම්භාවනීයද වෙයි.
“කවර සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය කැමැත්තේ වේද, සත්කාරය කැමැත්තේ වේද, පවිටු අදහස් ඇත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පාපයට භය නැත්තේ වේද, ඊර්‍ෂ්‍යාව ඇත්තේද, මසුරුද
කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, ගරු නොවූයේද, අසම්භාවනීයද වෙයි.
“මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.
“කවර කරුණු සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය නොකැමැත්තේද, සත්කාරය නොකැමැත්තේද, පවිටු අදහස් නැත්තේද, පවට ලජ්ජා ඇත්තේද, පවට බිය ඇත්තේද, ඊර්‍ෂ්‍යාව නැත්තේද, මසුරුකම නැත්තේද,
මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.
7. 1. 1. 3.
3. සංඛිත්තසත්තබල සූත්‍රය
[සැවැත් නිදානයයි]
3. “මහණෙනි, මේ බලයෝ සතක් වෙත්.
“කවර සතක්ද යත්? ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය, මහණෙනි, මේ සප්ත බලයෝ වෙති.
“ශ්‍රද්‍ධා බලයද, වීර්‍ය්‍ය බලයද, හිරි බලය හා ඔත්තප්ප බලයද, ස්මෘති බලයද, සමාධි බලයද, ඒකාන්තයෙන් ප්‍රඥා බලය සත්වන බලය වේ. මේ සප්ත බලයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ.
උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශේෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.”