6. 1. 8.
8. අසන්තුඨතා පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
8. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
නොසතුටු බව, යහපත් නුවණ නැති බව (අසම්පජඤ්ඤං), බොහෝ කැමති බව, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
නොසතුටු බව ප්‍රහීණ කිරීම පිණිස සතුටුවීම වැඩිය යුතුයි. යහපත් නුවණ නැති බව ප්‍රහීණ කිරීම පිණිස යහපත් ප්‍රඥාව (සම්පජඤ්ඤං) වැඩිය යුතුයි. බොහෝ කැමති බව ප්‍රහීණ කිරීම පිණිස බොහෝ කැමති නැති බව (අප්පිච්ඡතා) වැඩිය යුතුයි.
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
6. 1. 9.
9. දොවචස්සතා පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
9. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
නපුරු වචන ඇති බව, පවිටු මිතුරන් ඇති බව, සිතේ විපිළිසර බව (චෙතසො වික්ඛෙපො), යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
නපුරු වචන ඇති බව ප්‍රහීණ කිරීම පිණිස කීකරු බව වැඩිය යුතුයි. පවිටු මිත්‍රයන් ඇති බව ප්‍රහීණ කිරීම පිණිස යහපත් මිත්‍රයන් ඇති බව වැඩිය යුතුයි. සිතේ අවුල ප්‍රහීණ කිරීම පිණිස ආශ්වාස ප්‍රශ්වාස සිහිය වැඩිය යුතුයි.
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
6. 1. 10.
10. උද්‍ධච්චපහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
10. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
සිතේ නොසන්සුන් කම, සංවර නොවීම, ප්‍රමාදය, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
සිතේ නොසන්සුන් කම ප්‍රහීණ කිරීම පිණිස කෙලෙස් ඔබා තැබීම (සමථො) වැඩිය යුතුයි. අසංවරය ප්‍රහීණ කිරීම පිණිස සංවරය වැඩිය යුතුයි. ප්‍රමාදය ප්‍රහීණ කිරීම පිණිස අප්‍රමාදය වැඩිය යුතුයි
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
එකොලොස් වැනි තික වර්‍ගය නිමි.
එහි උද්දානය:
රාග, දුච්චරිත, විතක්ක, සඤ්ඤා, ධාතු, අස්සාද, අරති, සන්තුට්ඨි, දොවචස්සතා, උද්ධච්ච යයි මේ වර්ගය කියනු ලැබේ.