6. 1. 5.
5. ධාතුත්තය පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
5. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
කාම ධාතුවය, ව්‍යාපාද ධාතුවය, විහිංසා ධාතුවය, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
කාම ධාතුව ප්‍රහීණ කිරීම පිණිස නෛෂ්කාම්‍ය ධාතුව වැඩිය යුතුයි. ව්‍යාපාද ධාතුව ප්‍රහීණ කිරීම පිණිස මෛත්‍රී ධාතුව වැඩිය යුතුයි. හිංසා ධාතුව ප්‍රහීණ කිරීම පිණිස අවිහිංසා ධාතුව වැඩිය යුතුයි.
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
6. 1. 6.
6. අස්සාදදිට්ඨි සූත්‍රය
[සැවැත් නිදානයි]
6. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
සැප වශයෙන් දැකීම, ආත්මය වශයෙන් දැකීම, වැරදි දැකීම යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුනම ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුතුය. කිනම් තුනක්ද යත්:
සැප වශයෙන් දැකීම ප්‍රහාණය කිරීම පිණිස අනිත්‍යය යන හැඟීම වැඩිය යුතුයි. ආත්මය යන හැඟීම ප්‍රහීණ කිරීම පිණිස අනාත්ම යන හැඟීම වැඩිය යුතුය. වැරදි දැකීම ප්‍රහීණ කිරීම පිණිස හරි දැකීම වැඩිය යුතුයි.
මහණෙනි, මේ ධර්ම තුනම ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුතුය.
6. 1. 7.
7. අරතිපහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
7. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
නොඇලීම, හිංසාව, අධර්‍මයෙහි හැසිරීම යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
නොඇලීම ප්‍රහීණ කිරීම පිණිස මෘදු බව (මුදිතාව) වැඩිය යුතුයි. හිංසාව ප්‍රහීණ කිරීම පිණිස අවිහිංසාව වැඩිය යුතුයි. අධර්‍මයෙහි හැසිරීම ප්‍රහීණ කිරීම පිණිස ධර්‍මයෙහි හැසිරීම වැඩිය යුත්තාහ.
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
6. 1. 8.
8. අසන්තුඨතා පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
8. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
නොසතුටු බව, යහපත් නුවණ නැති බව (අසම්පජඤ්ඤං), බොහෝ කැමති බව, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ. කිනම් තුනක්ද යත්:
නොසතුටු බව ප්‍රහීණ කිරීම පිණිස සතුටුවීම වැඩිය යුතුයි. යහපත් නුවණ නැති බව ප්‍රහීණ කිරීම පිණිස යහපත් ප්‍රඥාව (සම්පජඤ්ඤං) වැඩිය යුතුයි. බොහෝ කැමති බව ප්‍රහීණ කිරීම පිණිස බොහෝ කැමති නැති බව (අප්පිච්ඡතා) වැඩිය යුතුයි.
මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.