6. 2. 5. 8.
[උක්ඛිත්තාසික සූත්රය]
[සැවැත් නිදානයි]
49. මහණෙනි, අනුසස් සයක් දකින භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට දුක්ඛ සංඥාව එළඹ සිටුවන්නට සුදුසුමය. කවර සයක්ද යත්?
සියලු සංස්කාරයන්හි මට ඔසවන ලද කඩු ඇති වධකයා කෙරෙහි මෙන් නිර්වේද (කළකිරීම්) සංඥාව එළඹ සිටියේ වන්නේය. මුළු ලෝකයෙන් මගේ සිත නැගී සිටින්නේය. නිවන්හිද ශාන්ත භාවය දක්නා සුලු වෙමි. මගේ අනුසයයෝද විනාශයට යන්නාහුය. කටයුතු කරන්නෙක්ද වන්නෙමි. ශාස්තෘන් වහන්සේද මා විසින් මෛත්රියෙන් ඇසුරු කරන ලද්දේ වන්නේය.
මහණෙනි, මේ අනුසස් සය දකින භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට දුක්ඛ සංඥාව එළඹ සිටුවන්නට සුදුසුමය.
6. 2. 5. 9.
[අතම්මය සූත්රය]
[සැවැත් නිදානයි]
50. මහණෙනි, අනුසස් සයක් දකින භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට අනාත්ම සංඥාව එළඹ සිටුවන්නට සුදුසුමය. කවර සයක්ද යත්?
සියලු ලෝකයෙහිද එයින් නොවූවෙක් (තන්මය නොවූවෙක්) වන්නෙමි. මම යන හැඟීමද (අහංකාරය) මට නිරුද්ධ වන්නේය. මගේය යන හැඟීමද (මමංකාරය) මට නිරුද්ධ වන්නේය. අසමානවූ නුවණින් යුක්තවූයේ වන්නෙමි. මා විසින් හේතුව මනාව දක්නා ලද්දේ වන්නේය. හේතුවෙන් උපන් මේ ධර්මයෝද (මනාව දක්නා ලද්දෝ වන්නාහුය).
මහණෙනි, මේ අනුසස් සය දකින භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට අනාත්ම සංඥාව එළඹ සිටුවන්නට සුදුසුමය.
6. 2. 5. 10.
[භව සූත්රය]
[සැවැත් නිදානයි]
51. මහණෙනි, මේ භව තුන ප්රහාණය කළ යුතුය. තුන් හික්මීමෙහි හික්මිය යුතුය.
කවර භව තුනක් ප්රහාණය කළ යුතුද යත්?
කාම භවය, රූප භවය, අරූප භවයයි. මේ තුන් භවයෝ ප්රහාණය කළ යුත්තාහුය.
කවර ශික්ෂා තුනක හික්මිය යුතුද?
අධිශීල ශික්ෂාවය, අධිචිත්ත ශික්ෂාවය, අධිප්රඥා ශික්ෂාවයයි. මේ තුන් ශික්ෂාවන්හි හික්මිය යුතුය.
මහණෙනි, යම් කලෙක භික්ෂුවගේ මේ භව තුන ප්රහීණ වෙත්ද, මේ ශික්ෂා තුනෙහි හික්මුණේ වෙයිද, මහණෙනි, මේ භික්ෂුව තෘෂ්ණාව සිඳදැම්මේය, සංයෝජන පෙරළා දැම්මේය, මැනවින් මානය අවබෝධ කිරීමෙන් දුක කෙළවර කළේයයි කියනු ලැබේ.
6. 2. 5. 11.
[තණ්හා සූත්රය]
[සැවැත් නිදානයි]
52. මහණෙනි, මේ තෘෂ්ණා තුන ප්රහාණය කළ යුතුය. මාන තුනද (ප්රහාණය කළ යුතුය).
කවර තෘෂ්ණා තුනක් ප්රහාණය කළ යුතුද?
කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාවයි. මේ තෘෂ්ණා තුන ප්රහාණය කළ යුතුය.
කවර මාන තුනක් ප්රහාණය කළ යුතුද?
මානය, ඔමානය, අතිමානයයි. මේ මාන තුන ප්රහාණය කළ යුතුය.
මහණෙනි, යම් කලෙක භික්ෂුවගේ මේ තෘෂ්ණා තුන ප්රහීණ වෙත්ද, මේ මාන තුනද (ප්රහීණ වෙත්ද), මහණෙනි, මේ භික්ෂුව තෘෂ්ණාව සිඳදැම්මේය, සංයෝජන පෙරළා දැම්මේය, මැනවින් මානය අවබෝධ කිරීමෙන් දුක කෙළවර කළේයයි කියනු ලැබේ.
පස්වෙනි ආනිසංස වර්ගයයි.
එහි උද්දානය (මාතෘකා):
පාතුභාව, ආනිසංස, අනිච්ච, දුක්ඛ, අනත්ත, නිබ්බාන, අනවත්ථිත, උක්ඛිත්තාසික, අතම්මය, භව සහ තණ්හා සූත්රය යැයි සූත්ර එකොළසකි.
දෙවැනි පණ්ණාසකය නිමියේය.