6. 2. 5. 2.
[ආනිසංස සූත්‍රය]
[සැවැත් නිදානයි]
43. මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි. කවර සයෙක්ද යත්?
සද්‍ධර්මයට ඒකාන්තවූයේ වේද, නොපිරිහෙන ධර්ම ඇත්තේ වේද, පර්යන්තය කළහුට (සසර කෙළවර කළහුට) දුකක් නොවේද, අසමාන නුවණින් යුක්ත වේද, ඔහුට හේතුව මනාව දක්නා ලද්දේ වේද, හේතුවෙන් හටගත් ධර්මයෝද (දක්නා ලද්දාහු වෙත්ද).
මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.
6. 2. 5. 3.
[අනිච්ච සූත්‍රය]
[සැවැත් නිදානයි]
44. මහණෙනි, යම් භික්‍ෂුවක් කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් දක්නේ අනුලොම්වූ ඛන්තියෙන් (කැමැත්තෙන්) යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත නොවූයේ, සම්මත්තනියාමයට (නිවැරැදි ස්වභාවයට) බැස ගනීය යන මේ කාරණය නොපවතියි. සම්මත්තනියාමයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
මහණෙනි, යම් භික්‍ෂුවක් සියලු සංස්කාරය අනිත්‍ය වශයෙන් දක්නේ අනුලොම් ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතී. අනුලොම් ඛන්තියෙන් යුක්ත වූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය පවතී. සම්මත්තනියාමයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී.
6. 2. 5. 4.
[දුක්ඛ සූත්‍රය]
[සැවැත් නිදානයි]
45. මහණෙනි, යම් භික්‍ෂුවක් කිසියම් සංස්කාරයක් සැප වශයෙන් දක්නේ අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත නොවූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. සම්මත්තනියාමයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
මහණෙනි, යම් භික්‍ෂුවක් සියලු සංස්කාරය දුක් වශයෙන් දක්නේ අනුලොම් ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතී. අනුලොම් ඛන්තියෙන් යුක්ත වූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය පවතී. සම්මත්තනියාමයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී.
6. 2. 5. 5.
[අනත්ත සූත්‍රය]
[සැවැත් නිදානයි]
46. මහණෙනි, යම් භික්‍ෂුවක් කිසියම් ධර්මයක් ආත්ම වශයෙන් දක්නේ අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත නොවූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. සම්මත්තනියාමයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
මහණෙනි, යම් භික්‍ෂුවක් සියලු ධර්මයන් අනාත්ම වශයෙන් දක්නේ අනුලොම් ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතී. අනුලොම් ඛන්තියෙන් යුක්ත වූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය පවතී. සම්මත්තනියාමයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී.
6. 2. 10. 6.
[නිබ්බාන සූත්‍රය]
[සැවැත් නිදානයි]
47. මහණෙනි, යම් භික්‍ෂුවක් නිවන දුක් වශයෙන් දක්නේ අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ ඛන්තියෙන් යුක්ත නොවූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. සම්මත්තනියාමයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
මහණෙනි, යම් භික්‍ෂුවක් නිවන සැප වශයෙන් දක්නේ, අනුලොම් ඛන්තියෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතී. අනුලොම් ඛන්තියෙන් යුක්ත වූයේ, සම්මත්තනියාමයට බැස ගනීය යන මේ කාරණය පවතී. සම්මත්තනියාමයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී.
6. 2. 5. 7.
[අනවත්ථිත සූත්‍රය]
[සැවැත් නිදානයි]
48. මහණෙනි, අනුසස් සයක් දකින භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිතව (මැනවින්) අනිත්‍ය සංඥාව එළඹ සිටුවන්නට සුදුසුමය. කවර සයක්ද යත්?
සියලු සංස්කාරයෝ මට අස්ථිර වශයෙන් වැටහෙන්නාහුය, මුළු ලොවෙහි මාගේ සිත නොඇලෙන්නේය, සියලු ලෝකයෙන් මාගේ සිත නැගී සිටින්නේය, මාගේ සිත නිවණට නැමුණේ වන්නේය, මාගේ සංයෝජනයෝද ප්‍රහාණයට යන්නාහුය, උතුම්වූ ශ්‍රමණභාවයෙන් යුක්තවූයේ වන්නෙමි (යනුයි).
මහණෙනි, මේ අනුසස් සය දකින භික්‍ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිතව අනිත්‍ය සංඥාව එළඹ සිටුවන්නට සුදුසුමය.