6. 2. 5. 11.
[තණ්හා සූත්‍රය]
[සැවැත් නිදානයි]
52. මහණෙනි, මේ තෘෂ්ණා තුන ප්‍රහාණය කළ යුතුය. මාන තුනද (ප්‍රහාණය කළ යුතුය).
කවර තෘෂ්ණා තුනක් ප්‍රහාණය කළ යුතුද?
කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාවයි. මේ තෘෂ්ණා තුන ප්‍රහාණය කළ යුතුය.
කවර මාන තුනක් ප්‍රහාණය කළ යුතුද?
මානය, ඔමානය, අතිමානයයි. මේ මාන තුන ප්‍රහාණය කළ යුතුය.
මහණෙනි, යම් කලෙක භික්‍ෂුවගේ මේ තෘෂ්ණා තුන ප්‍රහීණ වෙත්ද, මේ මාන තුනද (ප්‍රහීණ වෙත්ද), මහණෙනි, මේ භික්‍ෂුව තෘෂ්ණාව සිඳදැම්මේය, සංයෝජන පෙරළා දැම්මේය, මැනවින් මානය අවබෝධ කිරීමෙන් දුක කෙළවර කළේයයි කියනු ලැබේ.
පස්වෙනි ආනිසංස වර්ගයයි.
එහි උද්දානය (මාතෘකා):
පාතුභාව, ආනිසංස, අනිච්ච, දුක්ඛ, අනත්ත, නිබ්බාන, අනවත්ථිත, උක්ඛිත්තාසික, අතම්මය, භව සහ තණ්හා සූත්‍රය යැයි සූත්‍ර එකොළසකි.
දෙවැනි පණ්ණාසකය නිමියේය.
පණ්ණාසකයට අතිරේක වර්ග
1. තික වග්ගය
6. 1. 1.
1. අකුසල මූලප්පහාන සූත්‍රය
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, මේ ධර්‍ම තුනකි. කිනම් තුනක්ද යත්:
රාගය, ද්වේෂය, මෝහය යන තුනයි. මහණෙනි, මේ ධර්‍ම තුනය.
“මහණෙනි, මේ ධර්‍ම තුන ප්‍රහාණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුය. කිනම් තුනක්ද යත්:
රාගය ප්‍රහීණ කිරීම පිණිස අශුභ වැඩිය යුතුය. ද්වේෂය ප්‍රහීණ කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුය. මෝහය ප්‍රහීණ කිරීම පිණිස ප්‍රඥාව වැඩිය යුතුය.
මහණෙනි, මේ ධර්‍ම තුන ප්‍රහීණ කිරීම පිණිස මේ ධර්‍ම තුන වැඩිය යුත්තාහ” යි වදාළ සේක.
6. 1. 2.
2. දුච්චරිත පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
2. “මහණෙනි, මේ ධර්‍ම තුනකි. කිනම් තුනක්ද යත්:
කාය දුශ්චරිතය, වචී දුශ්චරිතය, මනො දුශ්චරිතය යන තුනයි. මහණෙනි, මේ ධර්‍ම තුනය.
“මහණෙනි, ධර්‍ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුයි. කිනම් තුනක්ද යත්:
කාය දුශ්චරිතය ප්‍රහීණ කිරීම පිණිස කාය සුචරිතය වැඩිය යුතුය. වාක් දුශ්චරිතය ප්‍රහීණ කිරීම පිණිස වාක් සුචරිතය වැඩිය යුතුය. මනො දුශ්චරිතය ප්‍රහීණ කිරීම පිණිස මනො සුචරිතය වැඩිය යුතුය.
මහණෙනි, ධර්‍ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුයි.
6. 1. 3.
3. විතක්ක පහාණ සූත්‍රය
[සැවැත් නිදානයි]
3. “මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්:
කාම සිතිවිල්ල, කෝප සිතිවිල්ල, හිංසා සිතිවිල්ල යනුය. මහණෙනි, මේ ධර්‍ම තුනයි.