6. 2. 2. 4.
සංඝනිකාරාම සූත්රය
සැවැත් නුවර දී ය.
14. මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි ඇලුනේ, සමාගමෙහි නිරතවූයේ, සමාගමට එක්වීමෙහි යෙදුනේ, පිරිසෙහි ඇලුනේ. පිරිස සමග නිරතවූයේ, පිරිස සමග එක්වීමෙහි යෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේයයි මේ කාරණය විද්යමාන නොවේ. තනිව විවේකයෙහි නොඇලෙන්නේ, සිතට අරමුණ ගන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සිතට අරමුණ නොගන්නේ, සම්යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සම්යක් දාෂ්ටිය නොපුරා, සම්යක් සමාධිය පුරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සම්යක් සමාධිය නොපුරා, සංයෝජන දුරුකරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සංයෝජනයන් දුරු නොකොට නිර්වාණය ප්රත්යක්ෂ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි නොඇලුනේ, සමාගමෙහි නිරත නොවූයේ, සමාගමට එක්වීමෙහි නොයෙදුනේ, පිරිසෙහි නොඇලුනේ. පිරිස සමග නිරත නොවූයේ, පිරිස සමග එක්වීමෙහි නොයෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේය යන මේ කරුණ විද්යමාන වේ. තනිව විවේකයෙහි ඇලෙන්නේ, සිතට නිමිත්ත ගන්නේය යන මේ කරුණ විද්යමාන වේ. සිතට නිමිත්ත ගන්නේ, සම්යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කරුණ විද්යමාන වේ. සම්යක් දාෂ්ටිය පුරා, සම්යක් සමාධිය පුරන්නේය යන මේ කරුණ විද්යමාන වේ. සම්යක් සමාධිය පුරා, සංයෝජනයන් දුරුකරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. සංයෝජනයන් දුරු කර නිර්වාණය ප්රත්යක්ෂ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ.
6. 2. 2. 5.
දේවතා සූත්රය
සැවැත් නුවර දී ය.
15. ඉක්බිති එක්තරා දිව්ය පුත්රයෙක් මධ්යම රාත්රිය ඉක්මවූ කල්හි, යහපත් වර්ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය බබුළුවා, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය:
ස්වාමීනි, කරුණු සයක් මහණහුගේ නොපිරිහීම පිණිස පවතිත්ය. කවර සයක් ද යත්:
ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය, ධර්මයට ගෞරවය, සංඝයාට ගෞරවය, ශික්ෂාවට ගෞරවය, සුවච බව, යහපත් මිත්රයන් ඇති බව, යන සයයි.
ස්වාමීනි, මේ කරුණු සය මහණහට නොපිරිහීම පිණිස පවතිත්.” ඒ දේවතාවා මෙසේ කීය. ශාස්තෲන් වහන්සේ පිළිගත් සේක.
ඉක්බිති ඒ දේවතාවා “ශාස්තෲන් වහන්සේ මාගේ වචන පිළිගත් සේකැ” යි භාග්යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් විය.
ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ ඒ රාත්රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථා කළ සේක: “මහණෙනි, මේ රාත්රියෙහි එක්තරා දේවතාවෙක් මධ්යම රාත්රිය ඉක්මවූ කල්හි යහපත් වර්ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය ආලෝක කොට මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා මට මෙසේ කීයේය:
ස්වාමීනි, කරුණු සයක් මහණහුගේ නොපිරිහීම පිණිස පවතිත්ය. කවර සයක් ද යත්:
ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය, ධර්මයට ගෞරවය, සංඝයාට ගෞරවය, ශික්ෂාවට ගෞරවය, සුවච බව, යහපත් මිත්රයන් ඇති බව, යන සයයි.
ස්වාමීනි, මේ කරුණු සය මහණහට නොපිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, ඒ දේවතාවා මෙය පැවසීය. මෙය පවසා මා වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ පැවසුවේය:
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් ලුහුඬින් වදාරණ ලද දෙය මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දනිමි. “ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේ වේද, ශාස්තෲන් වහන්සේට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද. ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ධර්මය කෙරෙහි ගරු කරන්නේ වේද, ධර්මයට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ධර්මය කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ධර්මය කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද. ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද සංඝයා කෙරෙහි ගරු කරන්නේ වේද, සංඝයාට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද සංඝයා කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් සංඝයා කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද. ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ශික්ෂාවෙහි ගරු කරන්නේ වේද, ශික්ෂාවෙහි ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශික්ෂාවෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශික්ෂාවෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශික්ෂාවෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද. ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද කීකරු වේද, කීකරුවීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් කීකරු නැත්තේ වේද, ඔවුන්ද කීකරු වීමෙහි යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් කීකරු වේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද. ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද යහපත් මිත්රයන් ඇත්තේ වේද, යහපත් මිත්රයන් ඇසුරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් යහපත් මිත්රයන් නැත්තේ වේද, ඔවුන්ද යහපත් මිත්රයන් ඇසුරෙහි යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් යහපත් මිත්රයන් ඇත්තේ වේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් ලුහුඬින් වදාරණ ලද මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දනිමි.”