6. 2. 1. 10.
10. සීහනාද සූත්රය
[සැවැත් නුවර දී ය]
64. “මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රෙෂඨ නාදය කෙරේද, බඹසක ප්රකාශ කෙරේද, එබඳුවූ තථාගත බලයෝ සයක් වෙති. කවර සයක්ද යත්:
(1) “මෙහි මහණෙනි, තථාගතතෙම හේතුව හේතුව වශයෙන්ද, හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද. තත්වූ පරිදි දනියි. මහණෙනි, යමක් තථාගතතෙම හේතුව හේතුව වශයෙන්ද, හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද. තත්වූ පරිදි දැනගනියි. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.
(2) “මහණෙනි, නැවතද තථාගතතෙම පසුවූ, මත්තෙහිවූ, පවත්නා කාලයෙහිවූ, කර්මයන් රැස් කිරීම හේතු වශයෙන්, විපාක වශයෙන් තත්වූ පරිදි දනියි. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.
(3) “මහණෙනි, නැවතද තථාගතතෙම ධ්යානය, කෙලෙසුන්ගෙන් සිත මිදීම, සමාපත්ති, යන මොවුන්ගේ කිලුටු බව. පිරිසිදු බව, නැගිටීම, තත්වූ පරිදි දනීද, මහණෙනි, තථාගතතෙම ධ්යානය, කෙලෙසුන්ගෙන් සිත මිදීම, සමාපත්ති, යන මොවුන්ගේ යම් ඒ කිලුටු බව. පිරිසිදු බව, නැගිටීම, තත්වූ පරිදි දනීද, යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.
(4) “මහණෙනි, නැවතද තථාගතතෙම නොයෙක් ආකාර පෙර භවයන් සිහි කෙරේද, කෙසේද,(මෙහි සංයුත්ත නිකායේ, මහා වර්ගයේ, 7 සංයුත්තයේ, 1 සූත්රයේ, 10 ඡේදය, “ජාති එකක්ද)) යන තැන සිට යෙදිය යුතුයි.)යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.
(5) “මහණෙනි, නැවතද තථාගතතෙම මිනිස් බව ඉක්මවූ පරිසිදුවූ දිවැසින් චුතවන්නාවූද. උපදින්නාවූද, හීනවූද, ප්රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද, සැපයට පැමිණියාවූද, දුකට පැමිණියාවූද, සත්ත්වයන් දකියි. කර්මානුකූලව උපන් සත්ත්වයන් දනියි. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.
(6) “මහණෙනි, නැවතද තථාගතතෙම ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධියත්. අර්හත් ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධියත්. අර්හත් ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විහිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කෙරේද. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.
“මහණෙනි, යම් බල වලින් යුක්තවූ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්රේෂ්ඨ නාදය කෙරේද. බඹසක ප්රකාශ කෙරේද. මේ සය තථාගතයන් වහන්සේ ගේ තථාගත බලයෝ වෙති.
“මහණෙනි, එයින් මත්තෙහි තථාගතයන් වහන්සේ වෙත හේතුව හේතුව වශයෙන්ද. හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද, තත්වූ පරිදි ඥානයෙන් එළඹ ප්රශ්න විචාරත්. මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ ගේ හේතුව හේතුව වශයෙන්ද, හේතුව නොවන දෙය හේතුව නොවන දෙය වශයෙන්ද. තත්වූ පරිදි දැන ඥානය දන්නා ලදද, ඒ පරිදි තථාගතතෙම හේතුව හේතුව වශයෙන්ද. හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද, දැන ප්රශ්න විචාරණ ලද්දේ ප්රකාශ කරයි.