5. 5. 4. 2.
2. පිය මනාපාවාසික සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
32. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුත වූයේ ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තෙක් වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අර්ත්‍ථය හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, උතුම් සිතෙහි හටගන්නාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇති, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ, චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 5. 4. 3.
3. ආවාස සෝභණ සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
33. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසය හොබවයි. කවර පසකින්ද යත්?
සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අර්ත්‍ථ හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්තවූවෙක් වේද, ලඟට පැමිණෙන්නෙකු දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරවන්ට සමර්ත්‍ථයෙක් වේද, උතුම් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, සුවසේ ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසය හොබවයි.
5. 5. 4. 4.
4. බහුපකාරාවාසික සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
34. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ. කවර පසකින්ද යත්?
සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, කැඩුම් බිඳුම් ප්‍රතිසංස්කරණය කෙරේද, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේ වේද, නොයෙක් පිට රට භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ‘ඇවැත්නි, මහත්වූ භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක් පිට රට භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කාලය’ යි සැළ කෙරේද, උතුම් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, සුවසේ ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ.
5. 5. 4. 5.
5. අනුකම්පකාවාසික සූත්‍රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
35. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි. කවර පසකින්ද යත්?
පඤ්ච ශීලයන් සමාදන් කරවාද, චතුස්සත්‍ය ධර්‍ම දර්‍ශනයෙහි පිහිටුවාද, ගිලනුන් කරා එළඹ, ‘ආයුෂ්මත්නි, සුදුසු බවට ගියාවූ සිහිය එළවව්ය’ යි සිහිය උපදවාද, මහත්වූ භික්‍ෂු සංඝයා වනාහි පැමිණියේ වේද, නොයෙක් නොරට වැසි භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ‘ඇවැත්නි, මහා භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක් වෙන රටවල වැසි භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කල් වේය’ යි සැළ කෙරේද, රූක්‍ෂවූ හෝ ප්‍රණිතවූ හෝ යම් භෝජනයක් වනාහි මොහුට දෙද්ද, එය තෙමේ වළඳාද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය ඉවත නොදමාද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.