5. 5. 3. 4.
4. පඤ්චමච්ඡරිය සූත්රය
[සැවැත්නුවර නිදානයි]
24. “මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් වේ. ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ගුණ වර්ණනායෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ධර්මයෙහි මසුරුකම් ඇත්තෙක් වේ.
“මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් නොවේ. ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ගුණ කීමෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ධර්මයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ.
“මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 3. 5.
5. පඨම කුලුපගාදීනව සූත්රය
[සැවැත්නුවර නිදානයි]
25. “මහණෙනි, කුලයට එළඹෙන්නහු කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
අනාමන්තවාර (වැඩිහිටියන් නොවිචාරා යෑමේ) ශික්ෂා පදයෙහි ඇවතට පැමිණේ. රහසිගතව හිඳීමෙන් වන ඇවතට පැමිණේ. වැසුනාවූ ආසනයෙහි හිඳීමෙන් වන ඇවතට පැමිණේ. ස්ත්රියකට වචන පහකින් හයකින් වැඩි ධර්මයක් දේශනා කරන්නේ ඇවතට පැමිණේ. කාම සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කරයි.
“මහණෙනි, කුලයට එළඹෙන්නහු කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
5. 5. 3. 6.
6. දුතිය කුලුපගාදීනව සූත්රය
[සැවැත්නුවර නිදානයි]
26. “මහණෙනි, පමණ ඉක්මවා කුලයන්හි ගැවසී වාසය කරන්නාවූ කුළුපග භික්ෂුහට මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
ස්ත්රිය පිළිබඳවූ නිතර දැකීමද, දැකීම ඇති කල්හි සංසර්ගයද, සංසර්ගය ඇති කල්හි විශ්වාසයද, විශ්වාසය ඇතිකල්හි මෛථුන රාගයට බැසගැන්මද, බැසගත් සිත් ඇත්තහුට මෙය කැමති විය යුතුයි. නොඇළුනේ හෝ බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙන්නේය. එක්තරා ඉතා කිළුටුවූ ඇවැතකට හෝ පැමිණෙන්නේය. ශික්ෂාව හෝ හැර දමා ගිහි බවට පෙරලෙන්නේය.
“මහණෙනි, පමණ ඉක්මවා කුලයන්හි ගැවසී වාසය කරන්නාවූ කුළුපග භික්ෂුහට මේ දෝෂ පසක් වෙත්.
5. 5. 3. 7.
7. භොගාදීනව සූත්රය
[සැවැත්නුවර නිදානයි]
27. “මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්. කවර පසක්ද යත්?
සම්පත් ගින්න හා සාධාරණ වෙත්. සම්පත් ජලය හා සාධාරණ වෙත්. සම්පත් රජුන් හා සාධාරණ වෙත්. සම්පත් සොරුන් හා සාධාරණ වෙත්. සම්පත් අප්රියවූ දායාදයන් හා සාධාරණ වෙත්.
“මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්.
“මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
භෝගයන් හෙවත් සම්පත් නිසා තමන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මව්පියන් සුවපත් කරවයි. පිනවයි. මනාව සැපසේ පරිහරණය කරයි. අඹුදරුවන්ද, දැසිදස් කම්කරු පුරුෂයන්ද සුවපත් කරවයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මිත්රාමාත්යයන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. ශ්රමණ බ්රාහ්මණයන් කෙරෙහි මතු භවයන්හි උතුම් විපාක ඇත්තාවූ, ස්වර්ග සැපයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්ග සැප පිණිස පවත්නාවූ දක්ෂිණාව පිහිටුවයි.
“මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්.