5. 5. 3. 2.
2. දුතිය දීඝචාරිකා සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
22. “මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
නොලබන ලද්ද නොලබයි. ලබන ලද්ද පිරිහෙළයි. ලබන ලද සමහරකින් නිර්භය නොවෙයි. දැඩිවූ රෝගාබාධ ස්පර්‍ශ කරයි. මිත්‍රයන් ඇත්තේද නොවේ.
“මහණෙනි, දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
නොලබන ලද්ද ලබයි. ලබන ලද්ද නොපිරිහෙයි. ලබන ලද සමහරකින් නිර්භය වේ. දැඩිවූ රෝගාබාධ ස්පර්‍ශ නොකරයි. මිත්‍රයන් ඇත්තේද වෙයි.
“මහණෙනි, නියමකරණලද හැසිරීමෙහි, මේ අනුසස් පසක් වෙත්.
5. 5. 3. 3.
3. අතිනිවවාසාදීනව සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
23. “මහණෙනි, වැඩි කලක් නැවතී වාසය කිරීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
බොහෝ බඩු රැස් කිරීම ඇත්තේ බහුභණ්ඩික වේ. බොහෝ බෙහෙත් ද්‍රව්‍ය එකතු කිරීම ඇත්තේ බහුභෙසජ්ජ වේ. බොහෝ කටයුතු ඇත්තේ පිළිවිස කටයුතුවල ව්‍යක්තවූයේ බහුකිච්ච වේ. ගෘහස්ත ප්‍රව්‍රජිතයන් හා නුසුදුසුවූ ගිහි සංසර්‍ගයෙන් යුක්තව වාසය කෙරෙයි. ඒ් ආවාසයෙන්ද බැහැර යන්නේ අපේක්‍ෂා සහිතවම බැහැර යයි.
“මහණෙනි, වැඩි කලක් නැවතී වාසය කිරීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, නියමවූ වාසයෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
බොහෝ බඩු රැස් කිරීම නැත්තේ බහුභණ්ඩික නොවේ. බොහෝ බෙහෙත් ද්‍රව්‍ය රැස් කිරීම නැත්තේ බහුභෙසජ්ජ නොවේ. පිළිවිස කටයුතුවල ව්‍යක්ත නොවූයේ බොහෝ කටයුතු නැත්තේ බහුකිච්ච නොවේ. ගෘහස්ත ප්‍රව්‍රජිතයන් සමග නුසුදුසුවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත නොව වාසය කරයි. ඒ් ආවාසයෙන්ද බැහැර යන්නේ අපේක්‍ෂාවක් නැතිව බැහැර යයි.
“මහණෙනි, නියමවූ වාසයෙහි මේ අනුසස් පසක් වෙත්.
5. 5. 3. 4.
4. පඤ්චමච්ඡරිය සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
24. “මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් වේ. ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ගුණ වර්‍ණනායෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ධර්‍මයෙහි මසුරුකම් ඇත්තෙක් වේ.
“මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් නොවේ. ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ගුණ කීමෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ධර්‍මයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ.
“මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්.