5. 5. 3. 10.
10. දුතිය කණ්හසප්ප සූත්රය
[සැවැත්නුවර නිදානයි]
30. “මහණෙනි, කෘෂ්ණ සර්පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්ර ද්රෝහී වේ.
“මහණෙනි, කෘෂ්ණ සර්පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්රිය කෙරෙහි දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
කිපෙනසුළු වේ. බද්ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්ර ද්රෝහී වේ.
“මහණෙනි, බොහෝ සෙයින් ස්ත්රිය තියුණුවූ රාග ඇති වේද, මහණෙනි, එහි මෙය ස්ත්රියගේ දරුණු විෂය වේ. මහණෙනි, බොහෝ සෙයින් සත්රිය කේලාම් කියන්නේ වේද, මහණෙනි, මෙය එහි ස්ත්රියගේ දිව් දෙකක් ඇති බව වේ. මහණෙනි, බොහෝ සෙයින් ස්වාමියා ඉක්මවා හැසිරෙන්නී වේද, මහණෙනි, මෙය ස්ත්රියගේ මිත්ර දොා්හී බව වේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
විසි තුන් වන දීඝචාරිකා වර්ගය නිමි.
එහි උද්දානය:
දීඝචාරික සූත්ර දෙකක් ද, අතිනිවාස සහ මච්ඡරිය සූත්ර ද, කුලූපග සූත්ර දෙකක් ද, භෝග සූත්රය ද, භත්ත සූත්රය ද, පසුව සප්ප සූත්ර දෙකක් දැයි මේ වග්ගයේ කියන ලදී.
4. ආවාසික වර්ගය
5. 5. 4. 1.
1. අභාවනීය සූත්රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
31. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ. කවර පසකින්ද යත්?
ශ්රමණ කල්පයන්ගෙන් යුක්ත නොවූයේ, වත් සම්පන්න නොවේද, බහුශ්රුත නොවූයේ ඇසූ දෙය දරන්නේ නොවේද, සැහැල්ලු පැවතුම් ඇති බව නොවූයේ විවේකයෙහි ඇළුම් නැත්තේ වේද, යහපත් වචන නැත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ නොවේද, ජඩවූ, කෙළතොලුවූ දුෂ්ප්රාඥයෙක් වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ. කවර පසකින්ද යත්?
ශ්රමණ කල්පයෙන් යුක්ත වූයේ, වත් සම්පන්නයෙක් වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ, ඇසූ දෙය දරන්නෙක් වේද, සැහැල්ලු බැව් ඇත්තේ, විවේකයෙහි ඇලුනෙක් වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ වේද, ජඩ නොවූ, කෙළ තොලු නොවූ ප්රඥා ඇත්තෙක් වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.
5. 5. 4. 2.
2. පිය මනාපාවාසික සූත්රය
සැවැත් නුවර නිදාන කොට ගෙනයි.
32. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූයේ, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්රුත වූයේ ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තෙක් වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්රහ්මචර්ය්යාව ප්රකාශ කෙරෙද්ද, එබඳු ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ, මනොඥවූ, කෙළ තොලු නොවූ, අර්ත්ථය හඟවන්නාවූ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, උතුම් සිතෙහි හටගන්නාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇති, සතර ධ්යානයන් කැමති පරිදි ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, බහුලව ලබන්නෙක් වේද, ආශ්රවයන් නැසීමෙන්, ආශ්රව රහිතවූ, චිත්ත විමුක්තියටද, ප්රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.