5. 3. 5. 5.
5. නිරයනික්ඛිත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
145. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පුද්ගල තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, මෙසේ නරකයෙහි උපදී. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාත කරන්නේ වෙයි, අදත්තාදානය ගන්නේ වෙයි, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි, මුසාවාද කියන්නේ වෙයි, මදයට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් පානය කරන්නේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පුද්ගල තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, මෙසේ නරකයෙහි උපදී.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ යම්සේ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේද, මෙසේ දෙව්ලොව උපදී. කවර පසකින්ද යත්:
ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, අදත්තාදානයෙන් වැළකුණේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වෙයි, මුසාවාදයෙන් වැළකුණේ වෙයි, මදයට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් පානයෙන් වැළකුණේ වෙයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ යම්සේ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේද, මෙසේ දෙව්ලොව උපදී.
5. 3. 5. 6.
6. භික්ඛුමිත්ත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
146. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු මිත්‍රතෙම සේවනය නොකටයුතු වේ. කවර පසකින්ද යත්:
කර්මාන්තය කරවාද, අධිකරණය ගණීද, ප්‍රධාන භික්‍ෂූන් කෙරෙහි ප්‍රතිවිරුද්‍ධවූයේ වේද, දික්වූ හැසිරී මෙන් අවස්ථාවට නුසුදුසුවූ හැසිරීමෙහි යෙදී වාසය කෙරේද, කලින්කල දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරන්ට සමර්ත්‍ථ නොවේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු මිත්‍රතෙම සේවනය නොකටයුතු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම සේවනය කටයුතු වේ. කවර පසකින්ද යත්:
කර්මාන්ත නොාකරවාද, අධිකරණය නොගණීද, ප්‍රධාන භික්‍ෂූන් කෙරෙහි ප්‍රතිවිරුද්‍ධවූවෙක් නොවේද, දික්වූ හැසිරීමෙහි අවස්ථාවට නුසුදුසුවූ හැසිරීමෙහි යෙදී වාසය නොකෙරේද, කලින්කල දැහැමි කථාවෙන් කරුණු දක්වන්ට, සමාදන් කරවන්ට, තෙද ගන්වන්ට, සතුටු කරන්ට සමර්ත්‍ථයෙක් වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම සේවනය කටයුතු වේ.
5. 3. 5. 7.
7. අසප්පුරිසදාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
147. “මහණෙනි, මේ අසත්පුරුෂ දාන පසක් වෙත්. කවර පසක්ද යත්:
සකස් නොකොට දානය දේද, සිතින් ආදර නොකොට දේද, සියතින් නොදේද, දමා ගසනු කැමැත්තෙක් මෙන් දේද, බලාපොරොත්තු රහිතව දේද, යන පසයි.
මහණෙනි, මොහු වනාහි අසත්පුරුෂ දාන පස වෙත්.