5. 3. 5. 1.
1. දත්වා අවජානන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
141. “මහණෙනි, මේ පුද්ගලයෝ පස්දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්:
දානය කොට අවමන් කෙරෙයි. එක්ව විසීමෙන් අවමන් කරයි. ගැණීමෙහි දොරටු ඇත්තේ වේ. ලොල්වූයේ වෙයි. මඳ නුවණ ඇත්තේ අතිශයින් මුළාවූයේ වෙයි යන මොහුය.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම දානය දී අවමන් කෙරේද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකුට සිවුරු, පිණ්ඩපාත, ශයනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දේද, ඔහුට මෙබඳු සිතක් වේ. ‘මම දෙමි. මෙතෙමේ පිළිගනීය’ යි ඔහුට දානය දී අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම දානය දී අවමන් කෙරෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම එක්ව විසීමෙන් අවමන් කෙරේද? මහණෙනි, මෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග අවුරුදු දෙකක් හෝ තුනක් හෝ වාසය කරයිද, ඔහුට එක්ව විසීමෙන් අවමන් කරයිද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම එක්ව විසීමෙන් අවමන් කරයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ගැණීමෙහි දොරටු ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අනිකාගේ ගුණයක් හෝ අගුණයක් හෝ කියනු ලබන කල්හි එය වහාම අදහන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ගැණීමෙහි දොරටු ඇත්තේ වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ලොල්වූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම මඳවූ ශ්රද්ධා ඇත්තේ, මඳවූ භක්ති ඇත්තේ, මඳවූ ප්රේම ඇත්තේ, මඳවූ ප්රසාද ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුදගල තෙම ලොල්වූයේ වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම මඳ නුවණ ඇත්තේ ඉතා මුළාවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කුශලාකුශල ධර්මයක් නොදනීද? සාවද්ය අනවද්ය ධර්මයන් නොදනීද, හීන ප්රණත ධර්මයන් නොදනීද, තෘෂ්ණා, ශුක්ල, සප්රතිභාග ධර්මයන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම මඳ නුවණ ඇත්තේ ඉතා මුළා වූයේ වේ.
“මහණෙනි, මේ පුද්ගලයෝ පස්දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්යමාන වෙත්.
5. 3. 5. 2.
2. විප්පටිසාරී සූත්රය
[සැවැත් නුවර නිදානයි]
142. “මහණෙනි, මේ පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම ඇවැත්ද මඩියි. ඒ හේතුවෙන් විපිළිසර ඇත්තේද වේ. යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් මඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ වේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනාහි ඇවැත් නොමඩියිද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ නොවෙයිද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි.
මහණෙනි, එහි යම් ඒ පුද්ගලයෙක් තෙම ඇවැත් මඩීද, ඒ හේතෙුවෙන් විපිළිසර ඇත්තේ වේද, යම් තැනක මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් සමාධියද, අර්හත් ඵල ඥානයද නොදනී. හෙතෙම මෙසේ කියයුතු වන්නේය: ‘ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්රවයෝ විද්යමාන වෙත්. විපිළිසර වීමෙන් හටගත් ආශ්රවයෝ බොහෝ සෙයින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්රවයන් හැර විපිළිසර වීමෙන් හටගත් ආශ්රවයන් දුරලා විදර්ශනා සිතද, එය හා යෙදුනු ප්රඥාවද වඩන සේක්වා ඒකාන්තයෙන් යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ පස්වන පුද්ගලයා හා සම සමවූවෙක් වන්නේය’ යි.
මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් ඇවැත් මඩීද, විපිළිසර ඇත්තේ නොවේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. හෙතෙම මෙසේ කියයුතු වන්නේය: ‘ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්රවයෝ විද්යමාන වෙත්. විපිළිසරයෙන් හටගත් ආශ්රවයෝ බොහෝ සෙයින් නොවැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැත් මැඩීමෙන් හටගත් ආශ්රවයන් හැර විදර්ශනා සිතද, ප්රඥාවද වඩාවා ඉතා මැනවි. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ පස්වන පුද්ගලයා හා සම සම වූවෙක් වන්නේය’ යි.
මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් තෙම ඇවැත් නොමඩීද, විපිළිසර ඇත්තේ වේද, යම් තැනෙක්හි මොහුගේ ඒ උපන් ලාමකවූ අකුශල ධර්මයෝ නිරවශෙෂව නිරුද්ධ වෙද්ද, ඒ අර්හත් මාර්ග සමාධියද, අර්හත් ඵල ඥානයද තත්වූ පරිද්දෙන් දනියි. හෙතෙම මෙසේ කියයුතු වන්නේය: ‘ආයුෂ්මත්හුගේ වනාහි ඇවැත් මැඩීමෙන් හටගත්තාවූ ආශ්රවයෝ විද්යමාන නොවෙත්. විපිළිසරයෙන් හටගත්තාවූ ආශ්රවයෝ බොහෝ සෙයින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ විපිළිසරයෙන් හටගත් ආශ්රවයන් දුරුකොට විදර්ශනා සිතද, ඒ හා යෙදුනු ප්රඥාවද වඩාවා ඉතා යහපති. මෙසේ ආයුෂ්මත් තෙමේ මේ පස්වන පුද්ගලයා හා සම සමවූවෙක් වන්නේය’ යි.