5. 3. 2. 1.
1. කුලූපග සමණ සූත්රය
[සැවැත්නුවර නිදානයි]
11. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, කුලයට එළඹෙන්නාවූ භික්ෂු තෙම කුලයන්හි අප්රියවූවෙක්ද, අමනාපවූවෙක්ද, ගෞරව නැත්තෙක්ද, බුහුමන් නැත්තෙක්ද වේ. කවර පසකින්ද යත්:
තමා හා සන්ථව නැත්තවුන් කෙරෙහි විශ්වාස ඇත්තේ වේද, අධිපති නොවූයේම අධිපතියෙකු මෙන් කටයුතු ඇත්තේද, වෙන්වූ කුල ගැලපීම පිණිස එළඹීම් ඇත්තේ වේද, කණ ලඟ කරණ කථා ඇත්තේ වේද, අධිකකොට ඉල්ලීම් ඇත්තේ වේද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ, කුලයට එළඹෙන්නාවූ භික්ෂු තෙම කුලයන්හි අප්රියවූවෙක්ද, අමනාපවූවෙක්ද, ගෞරව නැත්තෙක්ද, බුහුමන් නැත්තෙක්ද වේ.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ කුළුපග භික්ෂු තෙම කුලයන්හි ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගෞරව ඇත්තෙක්ද, බුහුමන් කරන්නෙක්ද වේ. කවර පසකින්ද යත්:
තමන් හා සන්ථව නැත්තවුන් කෙරෙහි විශ්වාස නැත්තේ වේද, අධිපති නොව අධිපතියෙනු මෙන් කරණ කටයුතු නැත්තේ වේද, වෙන්වූ කුල ගැළපීම පිණිස එළඹීම් ඇත්තේ නොවේද, කණ ලඟ කරණ කථා ඇත්තේ නොවේද, අධිකවූ ඉල්වීම් ඇත්තේ නොවේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ කුළුපග භික්ෂු තෙම කුලයන්හි ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගෞරව ඇත්තෙක්ද, බුහුමන් කරන්නෙක්ද වේ.
5. 3. 2. 2.
2. පච්ඡාසමණ සූත්රය
[සැවැත්නුවර නිදානයි]
12. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පසුව ශ්රමණ තෙම ගතයුතු නොවේ. කවර පසකින්ද යත්:
ඉතා දුර හෝ ඉතා ලඟ හෝ යේද, පාත්රයෙහි ඇතුළත් දෙය නොගණීද, ඇවතට ලංව කියනු ලබන්නහු නොවළකාද, කියනු ලබන්නහුට අතරතුර කථාව හෙළාද, ජඩවූ, කෙළතොලුවූ දුෂ්ප්රාඥයෙක් වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පසුව ශ්රමණ තෙම ගතයුතු නොවේ.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පසුව ශ්රමණ තෙම ගතයුතු වේ. කවර පසකින්ද යත්:
ඉතා දුර නොයාද, ඉතා ලඟ නොයාද, පාත්රයෙහි ඇතුළත් දෙය ගණීද, ඇවතට ලංව කියනු ලබන්නහු වළකාද, කියනු ලබන්නහුට අතරතුර කථාව නොහෙළාද, ජඩනොවූ, කෙළතොලුනොවූ ප්රඥා ඇත්තෙක් වේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ පසුව ශ්රමණ තෙම ගතයුතු වේ.
5. 3. 2. 3.
3. අභබ්බ සමාධි සූත්රය
[සැවැත්නුවර නිදානයි]
13. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම සම්යක් සමාධියට පැමිණ වාසය කරන්ට නුසුදුසු වේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම රූපාරම්මණයන් නොඉවසන්නේ වේද, ශබ්දාරම්මණයන් නොඉවසන්නේ වේද, ගන්ධාරම්මණයන් නොඉවසන්නේ වේද, රශාරම්මණයන් නොඉවසන්නේ වේද, ඵොට්ඨබ්බාරම්මණයන් නොඉවසන්නේ වේද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂු තෙම සම්යක් සමාධියට පැමිණ වාසය කරන්ට නුසුදුසු වේ.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම සම්යක් සමාධියට පැමිණ වාසය කරන්ට සුදුසු වේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම රූපාරම්මණයන් ඉවසන්නේ වේද, ශබ්දාරම්මණයන් ඉවසන්නේ වේද, ගන්ධාරම්මණයන් ඉවසන්නේ වේද, රශාරම්මණයන් ඉවසන්නේ වේද, ඵොට්ඨබ්බාරම්මණයන් ඉවසන්නේ වේද,
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂු තෙම සම්යක් සමාධියට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.
5. 3. 2. 4.
4. අන්ධක වින්ද සූත්රය
14. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මගධ රට අන්ධක වින්ද නම් වනයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ආනන්දය. යම් ඒ භික්ෂුහු නවකවූවාහු, පැවිදිවූ නොබෝ කල් ඇත්තාහු, මේ ශාසනයට අලුත පැමිණියාහු වෙද්ද, ආනන්දය, ඒ භික්ෂුහු තොප විසින් ධර්ම පසෙක්හි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. කවර පසෙක්හිද යත්:
‘ඇවැත්නි, එව්. තොපි සිල්වත් වව්. ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරවූවාහු, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කරව්. ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූවාහු, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මවේ’ යයි මෙසේ ප්රාතිමොක්ෂ සංවර ශීලයෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“ඇවැත්නි, එව්. තෙපි ඉන්ද්රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, දොරටු රක්නා සිහියෙන් යුක්තවූවාහු, නුවණින් යුත් සිහි ඇත්තාහු, රක්නා ලද සිත් ඇතිව, සිහියෙන් රක්නා ලද සිතින් යුක්තවූවාහු, වාසය කරව්’ යයි, මෙසේ ඉන්ද්රිය සංවරයෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.