5. 3. 1. 7.
7. ආහුණෙය්‍ය සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
107. “මහණෙනි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම පූජාවට සුදුසුය. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසුය. දක්‍ෂිණාවට සුදුසුය. අත් හිසට තබා වැඳීමට සුදුසුය. ලෝකයාගේ උතුම් පින් කෙතය. කවර පසකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශීලයෙන් යුක්තවූයේ වේද, සමාධියෙන් යුක්තවූයේ වේද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, විමුක්තියෙන් යුක්තවූයේ වේද, විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තවූයේ වේද යන පසිනි.
“මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසුය. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසුය. දක්‍ෂිණාවට සුදුසුය. අත් හිසට තබා වැඳීමට සුදුසුය. ලෝකයාගේ උතුම් පින් කෙතය.
5. 3. 1. 8.
8. අසෙඛසීල සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
108. “මහණෙනි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම පූජාවට සුදුසුය... ලෝකයාගේ උතුම් පින් කෙතය. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අශෛක්‍ෂවූ ශීල ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ සමාධි ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ විමුක්ති ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද, අශෛක්‍ෂවූ විමුක්ති ඥාන දර්‍ශන ස්කන්‍ධයෙන් යුක්තවූයේ වේද යන පසිනි.
“මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ භික්ෂු තෙම පූජාවට සුදුසුය... ලෝකයාගේ උතුම් පින් කෙතය.
5. 3. 1. 9.
9. චාතුද්දිසභික්ඛු සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
109. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සතර දිග නොවළහන ලද හැසුරුම් ඇත්තේ වෙයි. කවර පසකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වේද, ප්‍රතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරවූයේ, ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා ස්වභාව ඇතිවූයේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද,
“බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දාෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද,
“ලද පරිදි චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය, යන මෙයින් සතුටුවූයේ වේද,
“සතර ධ්‍යානයන් ආභිචේතසික වූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇති, කැමති පරිදි ලබන, නිදුකින් ලබන, බහුලව ලබන සුලු වෙයි.
“ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද, යන පසිනි.
“මහණෙනි, මේ ධර්ම පසින් යුක්ත වූ භික්ෂුව චාතුද්දිස (සතර දිග හැසිරිය හැකි) වන්නේය.
5. 3. 1. 10.
10. අරඤ්ඤසේනාසන සූත්‍රය
[සාවත්ථියෙහි නිදානයි]
110. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම වනයෙහි වානප්‍රස්ථ නම් ඉතා දුර සෙනසුන් සේවනය කරන්ට සුදුසු වේ. කවර පසකින්ද යත්:
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වේද, ප්‍රතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරවූයේ, ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා ස්වභාව ඇතිවූයේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද,