5. 3. 1. 5.
5. ඵාසුවිහාර සූත්රය
[සාවත්ථියෙහි නිදානයි]
105. “මහණෙනි, මේ ඵාසුවිහරණ පසක් වෙත්. කවර පසක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහුගේ බ්රහ්මචාරීන් කෙරෙහි ඉදිරියෙහිද, රහසද, මෛත්රී සිතින් පවත්වන ලද කායකර්මය පිහිටුවන ලද්දේ වේද, මෛත්රී සිතින් පවත්වන ලද වාක්කර්මය පිහිටුවන ලද්දේ වේද, මෛත්රී සිතින් පවත්වන ලද මනොකර්මය සබ්රම්සරුන් කෙරෙහි ඉදිරියෙහිද, රහසද පිහිටුවන ලද්දේ වේද, නොකඩවූ, සිදුරු නොවූ, කබර සහිත නොවූ, තිත් සහිත නොවූ, දාස කමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්ශණය නොකරණ ලද්දාවූ, සමාධි පිණිස පවත්නාවූ යම් ඒ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් බ්රහ්මචාරීන් හා ඉදිරියෙහිද, රහසද ශීලයෙන් සමාන බවට පැමිණියේ වාසය කෙරෙයිද, ආර්ය්යවූ, නෛර්ය්යානිකවූ, යම් මේ දාෂ්ටියක් තොමෝ ඒ කරන්නහුගේ මනාව දුක් නැතිකිරීම පිණිස පවතීද, එබඳු දෘෂ්ටියෙන් බ්රහ්මචාරීන් හා ඉදිරියෙහිද, රහසද දෘෂ්ටිහුගේ සමානබවට පැමිණියේ වාසය කෙරේද යන පසයි.
“මහණෙනි, මේ ඵාසුවිහරණ පසක් වෙත්.
5. 3. 1. 6.
6. සංඝඵාසුවිහරණ සූත්රය
106. “එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
“ස්වාමීනි, කොපමණකින් වනාහි භික්ෂු තෙම සංඝයා අතර වාසය කරන්නේ, පහසුවෙන් වාසය කරන්නේද?”
“ආනන්දය, යම් හෙයකින් භික්ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්යයාත් අධිශීලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්හා නොකරන්නේ වේද, ආනන්දය, මෙපමණකින්ද භික්ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය” යි වදාළ සේක.
“ස්වාමීනි, යම් සේ භික්ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්රකාරයකුත් වන්නේද?”
“ආනන්දය, වන්නේය. ආනන්දය, යම් හෙයකින් භික්ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්යයාත් අධිශීලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්හා නොකරන්නේ වේද, තමන්ගේ කටයුතු නොකටයුතු බලන්නේ වේද, අනුන්ගේ කටයුතු නොකටයුතු නොබලන්නේ වේද, ආනන්දය, මෙපමණකින්ද භික්ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය” යි වදාළ සේක.
“ස්වාමීනි, යම් සේ භික්ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්රකාරයකුත් වන්නේද?”
“ආනන්දය, වන්නේය. ආනන්දය, යම් හෙයකින් භික්ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්යයාත් අධිශීලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්හා නොකරන්නේ වේද, ආනන්දය, යම් හෙයකින් භික්ෂු තෙම තෙමේද ශීලයෙන් යුක්තවූයේ අනිකා අධිශීලයෙහි නොපවත්වන්නේ වේද, තමන්ගේ කටයුතු නොකටයුතු බලන්නේ අනුන්ගේ කටයුතු නොබලන්නේත් වේද, අප්රකට වූයේත් වේද, ඒ අප්රකට භාවයෙන් තැතිගැන්මට නොපැමිණේද, මේ පමණකින්ද, භික්ෂු තෙම සංඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය.
“ස්වාමීනි, යම් සේ භික්ෂු තෙම සංඝයා අතර පහසුවෙන් වාසය කරන්නේද, එබඳු අන් ප්රකාරයකුත් වන්නේද?”
“ආනන්දය, වන්නේය. ආනන්දය, යම් හෙයකින් භික්ෂු තෙම තෙමේත් ශීලයෙන් යුක්තවූයේ, අන්යයාත් අධිශීලයෙහි නොපවත්වන්නේ හෙවත් ශීලයෙන් ගර්හා නොකරන්නේ වේද, ආනන්දය, යම් හෙයකින් භික්ෂු තෙම තෙමේද ශීලයෙන් යුක්තවූයේ අනිකා අධිශීලයෙහි නොපවත්වන්නේ වේද, තමන්ගේ කටයුතු නොකටයුතු බලන්නේ අනුන්ගේ කටයුතු නොබලන්නේත් වේද, අප්රකට වූයේත් වේද, ඒ අප්රකට භාවයෙන් තැතිගැන්මට නොපැමිණේද, මේ පමණකින්ද, අධිචිත්තයෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්යානයන්ගේද කැමති පරිදි ලැබීම ඇත්තේ, නිදුකින් ලැබීම ඇත්තේ, බහුලව ලැබීම ඇත්තේ වේද, ආනන්දය, මෙපමණකින්ද භික්ෂු තෙම සඞඝයා අතර වාසය කරන්නේ පහසුවෙන් වාසය කරන්නේය” යි වදාළ සේක.