5. 2. 5. 8.
[චතුත්ථ අකුප්ප සූත්‍රය]
[සැවැත් නිදානයි]
48. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපානසතිය බහුල වශයෙන් කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්‍රතිවේධ කෙරේ. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්‍ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්‍රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, ආරණ්‍යක වූයේ ඉතා දුර වන සෙනසුන් ඇත්තේ වේද. මිදුනු සිත ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපානසතිය බහුල වශයෙන් කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්‍රතිවේධ කෙරේ.
5. 2. 5. 9.
[සීහ සූත්‍රය]
[සැවැත් නිදානයි]
49. මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම සවස් වේලාවෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කෙසරු සලා ඇඟ සොලවයි. කෙසරු සලා හාත්පස සතර දිශාව බලයි. හාත්පස සතර දිශාව බලා, තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද පවත්වා ගොදුරු පිණිස බැහැර යයි.
හෙතෙම ඉදින් ඇතෙකුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් මීමෙකුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් ගවයෙතුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් දිවියෙතුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් කුඩාවූද සතුන්ට පහර දේ නම් යටත් පිරිසෙයින් සාවුන්ට බළලුන්ටද සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඊට හේතු කවරේද? මාගේ යෝග්‍ය පථය හෙවත් කරණ ලද උපක්‍රමය නොනසීවායි.
මහණෙනි, සිංහයායයි කියා අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේට මේ නමකි. මහණෙනි, තථාගත තෙමේ පිරිසට යම් ධර්මයක් වනාහි දේශනා කෙරේද, මෙය මොහුගේ සිංහ නාදය නම් වේ.
මහණෙනි, ඉදින් භික්‍ෂූන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් භික්‍ෂූණීන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. ඉදින් උපාසකවරුන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් උපාසිකාවරුන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් පෘතග්ජනයන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් යටත් පිරිසෙයින් අන්නහාර නෙසාදයන්ටද තන කපනවුන්ට හා ලිහිණි වැද්දන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, තථාගත තෙම ධර්‍මය ගරු කරන්නෙක්, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තෙක් වේ.
5. 2. 5. 10.
[කකුධ සූත්‍රය]
50. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායකයෙක්වූ කකුධ නම් කෝලිය පුත්‍ර තෙම නොබෝ කල්හි කළුරිය කරණ ලද්දේ, එක්තරා මනොමය දිව්‍ය කොටසක උපන්නේ වේ. ඔහුගේ මෙබඳු ආත්මභාව ප්‍රතිලාභයක් වේ. යම් සේ නම් මගධ දේශයෙහිවූ ග්‍රාම ක්‍ෂෙත්‍ර දෙකක් හෝ තුණක් හෝ වෙද්ද, එමෙනි හෙතෙම ඒ ආත්මභාව ප්‍රතිලාභයෙන් තමන්ට නොපෙළයි. අනිකෙකුටද නොපෙළයි.
ඉක්බිති කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියාවූම කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කෙළේය: ‘ස්වාමීනි, දේවදත්ත ස්ථවිරයන්ට මෙබඳු කැමැත්තක් උපන්නේය. “මම භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නෙමි” යි. ස්වාමීනි, සිත පහළවීම සමගම දේවදත්ත තෙම ඒ ඎර්ධියෙන් පිරිහුනේය’ යි. කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම මෙය සැළකෙළේය. මෙය සැළකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එතැන්හිම අන්තර්‍ධාන වූයේය.
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම භාගයවතුන් වහන්සේට මෙය සැළකෙළේය:
“ස්වාමීනි, මාගේ උපස්ථායකයෙක්වූ කකුධ නම් කෝලිය පුත්‍ර තෙම ලඟදී කළුරිය කෙළේය. එක්තරා මනොමය දිව්‍ය කොටසක උපන්නේ වේ. ඔහුගේ මෙබඳු ආත්මභාව ප්‍රතිලාභයක් වේ. යම් සේ නම් මගධ දේශයෙහිවූ ග්‍රාම ක්‍ෂෙත්‍ර දෙකක් හෝ තුණක් හෝ වෙද්ද, එමෙනි හෙතෙම ඒ ආත්මභාව ප්‍රතිලාභයෙන් තමන්ට නොපෙළයි. අනිකෙකුටද නොපෙළයි. ස්වාමීනි, ඉක්බිති කකුධ නම් දේවපුත්‍ර තෙම මා යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මට වැඳ, එකත්පස්ව සිටියේය. ස්වාමීනි, එකත්පස්ව සිටියාවූම කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම මට මෙය සැළකෙළේය: ‘ස්වාමීනි, දේවදත්ත ස්ථවිරයන්ට මෙබඳු කැමැත්තක් උපන්නේය. “මම භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නෙමි” යි. ස්වාමීනි, සිත පහළවීම සමගම දේවදත්ත තෙම ඒ ඎර්ධියෙන් පිරිහුනේය’ යි කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම මෙය සැළකෙළේය. මෙය සැළකොට මට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එතැන්හිම අන්තර්‍ධාන වූයේය”.
“මොග්ගල්ලානයෙනි, කිමෙක්ද? තොප විසින් කකුධ නම් දේවපුත්‍ර තෙම සිතින් සිත පිරිසිඳ දැනගන්නා ලද්දේද? කකුධ නම් දේවපුත්‍ර තෙම යම් කිසිවක් කියාද, ඒ සියල්ල එසේම වේද, නොහොත් අන් පරිද්දෙකින් වෙද්ද?”
“ස්වාමීනි, මා විසින් කකුධ නම් දේවපුත්‍ර තෙම සිතින් සිත පිරිසිඳ දැනගන්නා ලද්දේය. කකුධ නම් දේවපුත්‍ර තෙම යම් කිසිවක් කියාද, ඒ සියල්ල එසේම වේ, නොහොත් අන් පරිද්දෙකින් නොවේය”යි. මොග්ගල්ලානය, මේ වචනය ආරක්‍ෂා කරව. දැන් ඒ හිස් පුරුෂ තෙම තෙමේම තමා පහළ කරන්නේය.