5. 2. 5. 6.
[දුතිය අකුප්ප සූත්‍රය]
[සැවැත් නිදානයි]
46. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්‍වය) ප්‍රතිවේධ කරයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්‍ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්‍රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද. මිදුනු සිත ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්‍වය) ප්‍රතිවේධ කරයි.
5. 2. 5. 7.
[තතිය අකුප්ප සූත්‍රය]
[සැවැත් නිදානයි]
47. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්‍වය) ප්‍රතිවේධ කරයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්‍ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්‍රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, අතිශයින් කෙලෙස් ලියන්නාවූ චිත්ත විවරණ නම් සමථ විදර්‍ශනාවන්ට හිතවූ යම් මේ කථාවක් වේද, එනම් අල්පේච්ඡ බව පිළිබඳ කථාය, සතුටුබව පිළිබඳ කථාය, ප්‍රකර්‍ෂ විවේකය පිළිබඳ කථාය, සංසර්‍ග නොවීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ කථාය, සීල කථාය, සමාධි කථාය, ප්‍රඥා කථාය, විමුක්ති කථාය, විමුක්ති ඥාන දර්‍ශන කථාය යන මෙබඳු කථාවගේ කැමති පරිදි ලැබීම ඇත්තෙක් නිදුකින් ලැබීම ඇත්තෙක්, බහුලව ලැබීම ඇත්තෙක් වේද. මිදුනු සිත ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්‍වය) ප්‍රතිවේධ කරයි.
5. 2. 5. 8.
[චතුත්ථ අකුප්ප සූත්‍රය]
[සැවැත් නිදානයි]
48. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපානසතිය බහුල වශයෙන් කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්‍රතිවේධ කෙරේ. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්‍ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්‍රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, ආරණ්‍යක වූයේ ඉතා දුර වන සෙනසුන් ඇත්තේ වේද. මිදුනු සිත ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපානසතිය බහුල වශයෙන් කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්‍රතිවේධ කෙරේ.
5. 2. 5. 9.
[සීහ සූත්‍රය]
[සැවැත් නිදානයි]
49. මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම සවස් වේලාවෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කෙසරු සලා ඇඟ සොලවයි. කෙසරු සලා හාත්පස සතර දිශාව බලයි. හාත්පස සතර දිශාව බලා, තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද පවත්වා ගොදුරු පිණිස බැහැර යයි.
හෙතෙම ඉදින් ඇතෙකුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් මීමෙකුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් ගවයෙතුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් දිවියෙතුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් කුඩාවූද සතුන්ට පහර දේ නම් යටත් පිරිසෙයින් සාවුන්ට බළලුන්ටද සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඊට හේතු කවරේද? මාගේ යෝග්‍ය පථය හෙවත් කරණ ලද උපක්‍රමය නොනසීවායි.
මහණෙනි, සිංහයායයි කියා අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේට මේ නමකි. මහණෙනි, තථාගත තෙමේ පිරිසට යම් ධර්මයක් වනාහි දේශනා කෙරේද, මෙය මොහුගේ සිංහ නාදය නම් වේ.
මහණෙනි, ඉදින් භික්‍ෂූන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් භික්‍ෂූණීන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. ඉදින් උපාසකවරුන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් උපාසිකාවරුන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් පෘතග්ජනයන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් යටත් පිරිසෙයින් අන්නහාර නෙසාදයන්ටද තන කපනවුන්ට හා ලිහිණි වැද්දන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, තථාගත තෙම ධර්‍මය ගරු කරන්නෙක්, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තෙක් වේ.