5. 2. 5. 3.
[අඤ්ඤබ්යාකරණ සූත්රය]
[සැවැත් නිදානයි]
43. මහණෙනි, මේ රහත් බැව් ප්රකාශ කිරීම් පසක් වෙත්. කවර පසක්ද යත්?
නුවණ මඳ බැවින් මුළා බැවින් අර්හත්වය ප්රකාශ කරයි. ලාමක ආසා ඇත්තේ, ආශාව ස්වභාව කොට ඇත්තේ අර්හත්වය ප්රකාශ කරයි. උමතු බැවින් සිත් පෙරලීමෙන් රහත් බව ප්රකාශ කරයි. අධිකවූ මානයෙන් රහත් බව ප්රකාශ කරයි. මනාකොටම රහත් බව ප්රකාශ කරයි. යන පසයි. මහණෙනි, මොහු වනාහි රහත් බැව් ප්රකාශ කිරීම් පස වෙත්ය.
5. 2. 5. 4.
[ඵාසු විහාර සූත්රය]
[සැවැත් නිදානයි]
44. මහණෙනි, මේ පහසු විහරණ පසක් වෙත්. කවර පසක්ද යත්?
මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැප ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැප ඇති දෙවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතිය පහව යාමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්ය්යයෝ කියත්ද, ඒ තෘතීය ධ්යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. ආශ්රවයන් නැසීමෙන් ආශ්රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි යන මේ පසයි. මහණෙනි, මොහු වනාහි පහසු විහරණ පස වෙත්ය.
5. 2. 5. 5.
[අකුප්ප සූත්රය]
[සැවැත් නිදානයි]
45. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්රතිවේධ කරයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අර්ත්ථ ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, ධර්ම ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, නිරුක්ති ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, ප්රතිභාණ ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, මිදුනු පරිදි සිත ප්රත්යවෙක්ෂා කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂු තෙම නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්රතිවේධ කරයි.
5. 2. 5. 6.
[දුතිය අකුප්ප සූත්රය]
[සැවැත් නිදානයි]
46. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්රතිවේධ කරයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, බහුශ්රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්රහ්මචර්ය්යාව ප්රකාශ කරද්ද, එබඳු ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද. මිදුනු සිත ප්රත්යවෙක්ෂා කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්රතිවේධ කරයි.
5. 2. 5. 7.
[තතිය අකුප්ප සූත්රය]
[සැවැත් නිදානයි]
47. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්රතිවේධ කරයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, අතිශයින් කෙලෙස් ලියන්නාවූ චිත්ත විවරණ නම් සමථ විදර්ශනාවන්ට හිතවූ යම් මේ කථාවක් වේද, එනම් අල්පේච්ඡ බව පිළිබඳ කථාය, සතුටුබව පිළිබඳ කථාය, ප්රකර්ෂ විවේකය පිළිබඳ කථාය, සංසර්ග නොවීම පිළිබඳ කථාය, වීර්ය්යාරම්භය පිළිබඳ කථාය, සීල කථාය, සමාධි කථාය, ප්රඥා කථාය, විමුක්ති කථාය, විමුක්ති ඥාන දර්ශන කථාය යන මෙබඳු කථාවගේ කැමති පරිදි ලැබීම ඇත්තෙක් නිදුකින් ලැබීම ඇත්තෙක්, බහුලව ලැබීම ඇත්තෙක් වේද. මිදුනු සිත ප්රත්යවෙක්ෂා කෙරේද.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අකුප්ප බව (අර්හත්වය) ප්රතිවේධ කරයි.