5. 2. 3. 6.
[දුතිය යොධාජීව සූත්‍රය]
[සැවැත් නුවර නිදානයි]
26. “මහණෙනි, මේ යුද්‍ධ භටයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහු සතුරෝ නසත්. අල්වාගණිත්. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු ඇතැම් යුද්‍ධ භටයෙක් වේ. මහණෙනි, මේ පළමුවන යුද්‍ධයෙන් ජීවත්වීම ඇත්තෙක් ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහුට අන්‍යයෝ විදිත්. ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්. හෙතෙම නෑයන් විසින් ගෙණ යනු ලබන්නේ, නෑයන් වෙතට නොපැමිණම අතරමග කළුරිය කරයි. මහණෙනි, මෙබඳුවූද, මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් වේ. මහණෙනි, මේ දෙවන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ, ඔහුට අන්‍යයෝ විදිත්. ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්. ඔහුට නෑයෝ උපස්ථාන කරත්. පිළිදැගුම් කරත්. හෙතෙම නෑයන් විසින් උවටැන් කරණු ලබන්නේ, පිළිදැගුම් කරණු ලබන්නේ, ඒ ආබාධයෙන්ම කළුරිය කරයි. මහණෙනි, මේ තුන්වන යුද්‍ධභට තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වෙත්.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ ඔහුට අන්‍යයෝ විදිත්. ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්. ඔහුට නෑයෝ උපස්ථාන කරත්. පිළිදැගුම් කරත්. හෙතෙම නෑයන් විසින් උවටැන් කරණු ලබන්නේ, පිළිදැගුම් කරණු ලබන්නේ, ඒ ආබාධයෙන් නැගී සිටියි. මහණෙනි, මෙබඳුවූද, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධභටයෙක් වේ. මහණෙනි, මේ සතරවෙනි යුද්‍ධභට තෙම ඇත්තේ, ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. හෙතෙම ඒ යුද්‍ධය ජයගෙණ, දිනන ලද යුද්‍ධ ඇත්තේ, ඒ යුද්‍ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් වේ. මහණෙනි, මේ පස්වන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්‍යමාන වේ.
“මහණෙනි, මේ යෝධාජීවයෝ පස්දෙන වනාහි ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.”
“මහණෙනි, මෙපරිද්දෙන්ම යෝධාජීවයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු භික්‍ෂූන් අතර විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් ඇසුරුකොට වාසය කරයි. හෙතෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ එම ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින් යුක්තවම, නොරක්නා ලද වචනයෙන් යුක්තව, නොරක්නා ලද සිතින් යුක්තව, නොඑළඹ සිටි සිහියෙන් යුක්තව, සංවර නොවූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. හෙතෙම එහි නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ස්ත්‍රියක් දකියි. ඇයගේ නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ඒ සත්‍රිය දැක රාගය තෙම සිත පෙළයි. හෙතෙම රාගයෙන් පෙළනලද සිතින් ශික්‍ෂාව නොහැර දුර්‍වලබව ප්‍රකාශ නොකොට මෛථුන ධර්‍ම ප්‍රතිසේවනය කරයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. උත්සාහ කරන්නාවූ, ව්‍යායාම කරන්නාවූ, ඔහු අන්‍යයෝ නසද්ද, අල්වා ගනිද්ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, මේ ශාසනයෙහි මෙබඳුවූ ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ පළමුවන යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගල තෙම ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් ඇසුරුකොට වාසය කරයි. හෙතෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ එම ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින් යුක්තවම, නොරක්නා ලද වචනයෙන් යුක්තව, නොරක්නා ලද සිතින් යුක්තව, නොඑළඹ සිටි සිහියෙන් යුක්තව, සංවර නොවූ ඉන්‍ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. හෙතෙම එහි නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ස්ත්‍රියක් දකියි. ඇයගේ නපුරුකොට හඳනා ලද හෝ, නපුරුකොට පොරෝනා ලද හෝ, ඒ සත්‍රිය දැක රාගය තෙම සිත පෙළයි. නපුරුකොට හඳනා ලද හෝ නපුරුකොට පොරෝනාලද හෝ ඒ ස්ත්‍රිය දැක ඔහුගේ රාගය තෙම සිත පෙළයි. හෙතෙම රාගයෙන් මඩනා ලද සිතින්, කයින්ද දවයි. සිතින්ද දවයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ආරාමයට ගොස් භික්‍ෂූන්ට, ‘ඇවැත්නි, මම රාගය අනුව ගියේ වෙමියි, රාගයෙන් පෙළුනේ වෙමියි, බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට නොහැකි වෙමි. ශික්‍ෂාවගේ දුර්‍වල භාවය ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරලෙන්නෙමි’ යි සැළකරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. හෙතෙම ආරාමයට යන්නේ, ආරාමයට නොපැමිණම, අතරමගදී ශික්‍ෂාවගේ දුර්‍වල බව ප්‍රකාශකොට, ශික්‍ෂාව හැර දමා ගිහි බවට පෙරළෙයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් කඩුව හා පලිහ ගෙණ, දුනු හා හියවුරු බැඳගෙණ, පැමිණ සිටියාවූ යුද්‍ධයට බැස ගණියි. හෙතෙම ඒ යුද්‍ධයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. ඔහු ස්වකීය කඳවුරට ගෙණ යත්. ගෙණ ගොස් නෑයක්ට පමුණුවත්. හෙතෙම නෑයන් විසින් ගෙණ යනු ලබන්නේ, නෑයන් වෙතට නොපැමිණම අතරමග කළුරිය කරයි. මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ දෙවන යෝධාජීවකයෙකුට බඳු උපමා ඇති පුද්ගල තෙම ඇත්තේ භික්‍ෂූන් අතර විද්‍යමාන වේ.