5. 2. 2. 2.
2. දුතිය පඤ්ච සඤ්ඤා සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
12. “මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර පසක්ද යත්?
අනිත්‍ය සංඥාය, අනාත්ම සංඥාය, මරණ සංඥාය, ආහාරයෙහි පිලිකුල් සංඥාය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාය යන පසයි.
“මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.
5. 2. 2. 3.
3. අරියවුද්‍ධි සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
13. “මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ. කවර පසකින්ද යත්?
ශ්‍රද්‍ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ශ්‍රුතයෙන් වැඩේද, ත්‍යාගයෙන් වැඩේද, ප්‍රඥාවෙන් වැඩේද යන පසිනි.
“මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නේද, උතුම් දෙය ගන්නේ වේ.
16. “මේ ලෝකයෙහි යම් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් ශ්‍රද්‍ධාවෙන් හා ශීලයෙන්ද, ප්‍රඥාවෙන් හා ත්‍යාගය, ශ්‍රුතය යන මෙයින් වැඩේද, එබඳුවූ, විචක්‍ෂණවූ, ඒ සත්පුරුෂ තෙම මෙලොවම ආත්මයාගේ උභය සාරය ගණීය” යි වදාළ සේක
5. 2. 2. 4.
4. දුතිය අරියවුද්‍ධි සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
14. “මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නීද, උතුම් ප්‍රයෝජනය ගන්නීද වේ. කවර පසකින්ද යත්?
ශ්‍රද්‍ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ශ්‍රුතයෙන් වැඩේද, ත්‍යාගයෙන් වැඩේද, ප්‍රඥාවෙන් වැඩේද යන පසිනි.
“මහණෙනි, වැඩීම් පසකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවිකා තොමෝ ආර්‍ය්‍යවූ වැඩීමෙන් වැඩෙයි. කය පිළිබඳ සාරය ගන්නීද, උතුම් ප්‍රයෝජනය ගන්නීද වේ.
17. “මේ ලෝකයෙහි යම් ආර්‍ය්‍ය ශ්‍රාවිකාවක් ශ්‍රද්‍ධාවෙන් හා ශීලයෙන්ද, ප්‍රඥාවෙන් හා ත්‍යාගයෙන්ද, ශ්‍රුතයෙන්ද වැඩේද, එබඳු සිල්වත් උපාසිකා තොමෝ මෙලොවම ආත්මයාගේ උභය සාරය ගණීය” යි වදාළ සේක
5. 2. 2. 5.
5. අලංසාකච්ඡා සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
15. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම, තෙමේත් සීලයෙන් යුක්තවූයේ වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්තවූයේ වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්තවූයේ වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තවූයේ වේද, විමුක්ති ඥාන දර්‍ශනය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි.
5. 2. 2. 6.
6. අලංසාජීව සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
16. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සමාන දිවි පැවැත්මට සුදුසු වූයේ වෙයි. කවර පසකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම, තෙමේත් සීලයෙන් යුක්තවූයේ වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්තවූයේ වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්තවූයේ වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තවූයේ වේද, විමුක්ති ඥාන දර්‍ශනය පිළිබඳ කථාවෙන් ආවාවූ ප්‍රශ්ණය විසඳන්නේත් වේද, යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සමාන දිවි පැවැත්මට සුදුසු වූයේ වෙයි.