5. 2. 1. 7.
අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය
සැවැත් නුවර නිදානයි
7. “මහණෙනි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්,
“ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මරණය ස්වභාවකොට ඇත්තේ වෙමි. මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මාගේ සියලු ප්‍රිය මනාපවූවන් කෙරෙන් නොයෙක් ස්වභාව වෙන්වීම ඇත්තේ යැයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“කර්‍මය ස්වකීයකොට ඇත්තේ වෙමි. කර්‍මය දායාදකොට ඇත්තේ වෙමියි, කර්‍මය උත්පත්ති කාරණකොට ඇත්තේ වෙමියි, කර්‍මය නෑකොට ඇත්තේ වෙමියි, කර්‍මය පිළිසරණකොට ඇත්තේ වෙමියි, යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් කරන්නෙම්ද, එයට උරුමක්කාරයෙක් වන්නෙමියි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කවර කරුණක් නිසා ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමියි, ජරාව නොඉක්මවූයේයයි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද? මහණෙනි, යම් මදයකින් මත්වූවාහු, කයින් දුශචරිත කෙරෙද්ද, වචනයෙන් දුශචරිත කෙරෙද්ද, සිතින් දුශචරිත කෙරෙද්ද, සත්ත්‍වයන්ගේ යෞවන බැව්හි එබඳු යෞවන මදයෙක් ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ යෞවනයෙහි යම් යෞවන මදයක් වේද, එය සියලු ආකාරයෙන් හෝ ප්‍රහීන වේ. හීන වූවක්හු වේ. මහණෙනි, මේ කරුණ නිසා ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමි. ජරාව නොඉක්මවූයේයයි, ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කිනම් කරුණක් නිසා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ වෙමියි, ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද? මහණෙනි, යම්බඳුවූ මදයකින් මත්වූවාහු, කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ නීරෝගභාවයෙහි එබඳුවූ ආරොග්‍ය මදයෙක් ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ නීරෝග භාවයෙහි යම් ආරෝග්‍ය මදයක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් ප්‍රහීන හෝ වේ. තුනී වූවක් හෝ වේ. මහණෙනි, මේ ප්‍රයෝජනය සළකා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.
“මහණෙනි, කිනම් කරුණක් නිසා මරණය ස්වභාව කොට ඇත්තේ වෙමියි, මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුද? මහණෙනි, යම්බඳුවූ මදයකින් මත්වූවාහු, කයින් දුසිරිත හැසිරෙද්ද, වචනයෙන් දුසිරිත හැසිරෙද්ද, සිතින් දුසිරිත හැසිරෙද්ද, සත්ත්‍වයන්ගේ ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් ඇත්තේය. ඒ කරුණ නිතර සිහි කරන්නාවූ ඔහුගේ ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් වේද, හෙතෙම සියලු ආකාරයෙන් ප්‍රහීන හෝ වේ. තුනී වූවක් හෝ වේ. මහණෙනි, මේ ප්‍රයෝජනය සළකා මරණය ස්වභාව කොට ඇත්තේ වෙමි. මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.