5. 1. 4. 6.
කාලදාන සූත්‍රය
36. “මහණෙනි, මේ සුදුසු කාලයෙහි දෙන්නා වූ දාන පසක් වෙත්. කවර පසක්ද යත්;
ආගන්තුකයාට දානය දේද, ගමන් යන්නාට දානය දේද, ගිලනාට දානය දේද, දුර්භික්‍ෂයෙහි දානය දේද, යම් ඒ අලුත් ශෂ්‍ය අලුත් ඵල වෙත්ද, ඔවුන් පළමුකොට සිල්වතුන් කෙරෙහි පිහිටුවාද (යන පසයි.) මහණෙනි, මොහු වනාහි සුදුසු කාලයෙහි දෙන දාන පස වෙත්ය” යි වදාළ සේක.
19. “ප්‍රඥා ඇත්තා වූ, ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ, පහ වූ මසුරු මල ඇත්තෝ සුදුසු කාලයෙහි දන් දෙත්. සෘජු වූ, තාදී ගුණයෙන් යුක්ත වූ, ආර්‍ය්‍යයන් විෂයෙහි සුදුසු කාලයෙහි දෙන ලද්ද, කාලදානය වේ. (1) විශේෂයෙන් ප්‍රසන්න සිත් ඇති ඔහුගේ දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ.
20. යම් කෙනෙක් එහි අනුමෝදන් හෝ වෙද්ද, වතාවත් හෝ කෙරෙද්ද, එයින් දක්‍ෂිණා තොමෝ අඩුවූවක් නොවන්නීය. ඔවුහුද පිනට කොටස්කාරයෝ වෙත්.
21. “යමෙකු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේද, එහෙයින් නොපසුබට සිත් ඇත්තේ දන් දෙන්නේය. පින් පරලොව සත්ත්‍වයන්ට පිහිට වෙත්ය” යි වදාළ සේක.
5. 1. 4. 7.
භෝජන සූත්‍රය
37. “මහණෙනි, භෝජනය දෙන්නාවූ දායක තෙම දානය ලබන්නන්ට කරුණු පසක් දෙයි. කවර පසක්ද යත්;
ආයුෂය දෙයි. ශරීර වර්‍ණය දෙයි. කායික චෛතසික සැපය දෙයි. ශරීර ශක්තිය දෙයි. වැටහෙන නුවණ දෙයි. ආයුෂය දී වනාහි දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වෙයි, වර්‍ණය දී, බලය දී, සැපය දී, නුවණ දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ නුවණට කොටස් කාරයෙක් වෙයි යන පසයි. මහණෙනි, භෝජනය දෙන්නාවූ දායක තෙම දානය ලබන්නන්ට මේ කරුණු පස දේය” යි වදාළ සේක.
22. “ප්‍රාඥවූ දායක තෙම ආයුෂය දෙන්නේ, බලය දෙන්නේ, වර්‍ණය දෙන්නේ, නුවණ දෙන්නේ වේ. සැපය දෙන්නාවූ, නුවණැත්තාවූ හෙතෙම සැපයට පැමිණේ.
23. “ආයුෂයද, බලයද, වර්‍ණයද, සැපයද, නුවණද දී හෙතෙම යම් යම් තැනක උපදීද, ඒ ඒ තන්හි දීර්‍ඝායුෂ ඇත්තෙක්, යශස් ඇත්තෙක් වේය” යි වදාළ සේක.
5. 1. 4. 8.
සද්ධා සූත්‍රය
38. “මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තාවූ කුලපුත්‍රයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්;
මහණෙනි, ලෝකයෙහි යම් ඒ ශාන්තවූ සත්පුරුෂයෝ වෙද්ද, ඔවුහු ශ්‍රද්‍ධා ඇත්තහුටම පළමුකොට අනුකම්පා කරන්නාහු, අනුග්‍රහ කරත්. එසේ ශ්‍රද්‍ධා නැත්තහුට නොකරත්. ශ්‍රද්‍ධා ඇත්තහු කරාම පැමිණෙන්නාහු, පළමුකොට පැමිණෙත්. ශ්‍රද්‍ධා නැත්තහු කරා එසේ නොපැමිණෙත්. පිළිගන්නාහු, ශ්‍රද්‍ධා ඇත්හුගේම දෙය්‍ය ධර්‍මය පළමුකොට පිළිගනිත්. ශ්‍රද්‍ධා නැත්තහුගේ එසේ නොගනිත්. ශ්‍රද්‍ධා ඇත්තහුටම ධර්‍මය දේශනා කරන්නාහු පළමුකොට දේශනා කෙරෙත්. ශ්‍රද්‍ධා නැත්තහුට එසේ නොකරත්. ශ්‍රද්‍ධා ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දෙව්ලොව උපදියි.
මහණෙනි, මොහු වනාහි ශ්‍රද්‍ධා ඇති කුලපුත්‍රයා කෙරෙහිවූ අනුසස් පස වෙත්.
“මහණෙනි, යම් සේ යහපත් භූමියෙහි සතර මං සන්ධියෙක්හි මහත්වූ නුග රුකෙක් හාත්පස පක්‍ෂීන්ට පිළිසරණ වේද, මහණෙනි, එපරිද්දෙන්ම ශ්‍රද්‍ධාව ඇත්තාවූ කුලපුත්‍ර තෙම භික්‍ෂුය, භික්‍ෂුණීය, උපාසකය, උපාසිකාය යන බොහෝ දෙනාට පිළිසරණ වේය” යි වදාළ සේක.