5. 1. 4. 2.
2. චුන්දී සූත්රය
32. “එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි චුන්දී නම් රාජ කුමාරී තොමෝ පන්සියයක් රථ වලින් පන්සියයක් රජ කුමරියන් විසින් පිරිවරණ ලද්දී, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට සකස් කොට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම චුන්දී නම් රාජ කුමාරී තොමෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, අපගේ චුන්ද නම් රාජ කුමාරයෙක් වේ. හෙතෙම මෙසේ කීය. ‘යම් මේ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ කොට ගියේ වේද, දහම් සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ප්රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාම මිත්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදියි. දුර්ගතියෙහි නූපදියි” යනුයි.
“ස්වාමීනි, ඒ මම භාග්යවතුන් වහන්සේ විචාරමි. ස්වාමීනි, කෙබඳු වූ ශාස්තෘවරයෙකු කෙරෙහි ප්රසන්න වූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි? ස්වාමීනි, ඒ මම භාග්යවතුන් වහන්සේ විචාරමි. ස්වාමීනි, කෙබඳු වූ ධර්මයෙක්හි වනාහි ප්රසන්න වූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි? කෙබඳු සංඝයා කෙරෙහි වනාහි ප්රසන්න වූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි? කෙබඳු කුශල ධර්මයන්හි සම්පූර්ණ කිරීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි?”
“එම්බා චුන්දිය, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පාද ඇත්තා වූ හෝ රූප ඇත්තා වූ හෝ රූප නැත්තා වූ හෝ සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නෙවසඤ්ඤීනාසචඤ්ඤී වූ හෝ යම්තාක් සත්ත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්යක් සම්බුද්ධ වූ තථාගත තෙමේ උතුම්යයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි බුදුන් කෙරහි ප්රසන්න වූවාහුද, ඔවුහු අග්ර වූවහු කෙරෙහි ප්රසන්න වූවාහුය. අග්ර වූවහු කෙරෙහි වනාහි ප්රසන්න වූවන්ට අග්ර වූ විපාකය වේ.
“චුන්දිය, සංස්කරණය කරන ලද යම්තාක් ධර්මයෝ වෙද්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ අතුරෙන් අග්ර යැයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි පැහැදුනාහුද, ඔවුහු අග්ර වූවෙහි පැහැදුනාහුය, අග්ර වූවෙහි පැහැදුනවුන්ට අග්ර වූ විපාකය වේ.
“චුන්දිය, සංස්කරණය කරණ ලද්දා වූ හෝ සංස්කරණය නොකරණ ලද්දා වූ හෝ යම්තාක් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අතුරෙන් යම් සේ රාගාදී මදයන්ගේ දුරු කිරීම ඇත්තා වූ, සියලු පිපාසා දුරු කිරීම ඇත්තා වූ, සියලු ආලයන්ගේ නැසීම ඇත්තා වූ, වෘත්තයන්ගේ සිඳීම් ඇත්තා වූ, තෘෂ්ණාවන්ගේ ක්ෂය කිරීම් ඇත්තා වූ, නොඇල්ම ඇත්තා වූ, නිරුද්ධවීම ඇත්තා වූ, නිවණක් වේද, විරාග නම් වූ ඒ නිවණ අග්රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි විරාග ධර්මයෙහි පැහැදුනාහුද, ඔවුහු අග්ර වූ ධර්මයෙහි පැහැදුනාහුය. අග්ර වූ ධර්මයෙහි වනාහි පැහැදුනවුන්ට අග්ර වූ විපාකය වේ.
“එම්බා චුන්දිය, යම්තාක් සඞ්ඝ වූවාහු හෝ ගණ වූවාහු හෝ වෙද්ද, ඔවුන්ගෙන් යම් මේ පුරුෂ යුග්ම සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයන් අට දෙනක් වෙද්ද, භාග්යවතුන් වහන්සේගේ මේ ශ්රාවක සංඝ තෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසු වේ. දක්ෂිණාව පිළිගැනීමට සුදුසු වේ. ඇඳිලි කිරීමට සුදුසු වේ. ලෝකයාට උතුම් වූ පින් කෙත වේද, මේ තථාගතයන්ගේ ශ්රාවක සංඝ තෙම අග්රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි සඞ්ඝයා කෙරෙහි ප්රසන්න වූවාහුද, ඔවුහු අග්ර තන්හි ප්රසන්න වූවාහු වෙත්. අග්ර වූ සංඝයා කෙරෙහි ප්රසන්න වූවන්ට වනාහි අග්ර වූ විපාකය වේ.
“එම්බා චුන්දිය, ආර්ය්යයන් කැමැති වූ යම්තාක් ශීලයෝ වෙද්ද, ඔවුන්ගෙන් නොකඩ වූ, නොසිදුරු වූ, නොකැළල් වූ, තිත් නැත්තා වූ, දාසකමින් මිදුනා වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දා වූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්ශණය නොකරණ ලද්දා වූ, සමාධිය පිණිස පවත්නා වූ යම් මේ ශීලයෝ වෙද්ද, මෙය අග්රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි ආර්ය්යයන් කැමති වූ ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තාහු වෙද්ද, ඔවුහු අග්ර වූ ශීලයෙහි සම්පූර්ණ කිරීම ඇත්තාහු වෙත්. අග්ර වූ ශීලයෙහි වනාහි සම්පූර්ණ කිරීම ඇත්තවුන්ට අග්ර වූ විපාකය වේ.
(1) “ඒකාන්තයෙන් අග්ර වශයෙන් පැහැදුනා වූ, අග්ර වූ ධර්මය දන්නා වූ, නිරුත්තර දක්ෂිණාර්හ වූ, අග්ර වූ බුදුන් කෙරෙහි පැහැදුනවුන්ටද,
(2) “විරාගයෙන් හා උපසමයෙන් යුත් සැපය ඇත්තා වූ, අග්ර වූ ධර්මයෙහි පැහැදුනවුන්ටද, උතුම් පින් කෙතක් වූ අග්ර වූ සංඝයා කෙරෙහි පැහැදුනවුන්ටද,
(3) “අග්රවූවහු කෙරෙහි දානය දෙන්නවුන්ටද අග්ර වූ පින වැඩේ. අග්ර වූ ආයුෂයද, අග්ර වූ ශරීර වර්ණයද, යශස හා කීර්තියද, සැපයද, බලයද ලැබේ.
(4) “අග්රවූවහුට දෙන්නා වූ, නුවණැත්තා වූ, අග්ර ධර්මයෙන් යුක්ත වූ පුද්ගල තෙමේ, දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්ර බවට පැමිණියේ අතිශයින් සතුටු වේයයි වදාළ සේක.”
5. 1. 4. 3.
3. උග්ගහ සූත්රය
33. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භද්දිය නම් නුවර ස්වයංජාත වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි වනාහි උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ තමන් සතරවෙනි කොට ඇත්තේ සෙට දවස පිණිස මාගේ බත ඉවසන සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ, නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක. ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ පැදකුණු කොට ගියේය.
ඉක්බිති, භාග්යවතුන් වහන්සේ ඒ රාත්රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරොවා, පාත්ර සිවුරු ගෙණ, උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරාගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ පනවන ලද ආසනයෙහි වැඩ හුන් සේක. ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම, භාග්යවතුන් වහන්සේ ප්රණීතවූ කෑ යුතු දෙයින්ද, බුදිය යුතු දෙයින්ද, සියතින් සතුටු කෙළේය. මනාකොට පැවරූයේය.
ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම වැළඳුවාවූ පාත්රයෙන් ඉවත් කළ අත් ඇති භාග්යවතුන් වහන්සේට එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම, භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.