5. 1. 3. 8.
[පඤ්චංගික සමාධි සූත්රය]
28. “මහණෙනි, ආර්ය්යවු, අඞ්ග පසකින් යුක්තවූ, සම්යක් සමාධිහුගේ වැඩීම දේශනා කරන්නෙමි. එය අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “එසේය ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ආර්ය්යවූ, අඞ්ග පසකින් යුක්තවූ සමාධිහුගේ භාවනා තොමෝ කවරීද,
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව පළමුවන ධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරයම විවේකයෙන් හටගත්තාවූ ප්රීති සැපයෙන් මොනවට තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්ණ කරයි. හාත්පසින් පතුරුවයි. මොහුගේ සියලුම කය පිළිබඳ කිසිවක් විවේකයෙන් හට ගත්තාවූ ප්රීති සැපයෙන් ස්පර්ශ නොකරණ ලද්දේ නොවේ. මහණෙනි, යම් සේ දක්ෂවූ නහාපකයෙක් හෙවත් ස්නානය කරවන්නෙක් හෝ නහාපකයෙකුගේ අතවැසියෙක් හෝ ලෝ තලියෙක්හි නැහැවීමට ගන්නා සුණු බහා ජලයෙන් ඉස ඉස පිඩු කරන්නේද, යම් හෙයකින් දියවර අනුව ගියාවූ, දියවරින් යුක්තවූ, ඇතුළත පිටත තෙත් ගතියෙන් පැතිරීම ඇති ඒ නහාන සුණු පිඩ නොම වැගිරේද, මහණෙනි, මෙපරිද්දෙන්ම, හෙතෙම මේ ශරීරයම විවේකයෙන් හටගත්තාවූ ප්රීති සැපයෙන් මොනවට තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්ණ කරයි. හාත්පසින් පතුරුවයි. මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් විවේකයෙන් හටගත් ප්රීති සැපයෙන් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්ය්යවූ අඞ්ග පසකින් යුක්තවූ සම්යක් සමාධිහුගේ මේ පළමුවන භාවනාව වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැපය ඇති, දෙවන ධ්යානයට පැමිණ වාසය කරයි. මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් සමාධියෙන් හටගත් ප්රීති සැපයෙන් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, යම් සේ උඩට බිඳගෙන එන්නාවූ ජලය ඇති දිය විලක් වේද, ඒ විලට පූර්ව දිශාවෙන් දිය එන්නාවූ මඟක් නොම වන්නේද, පැසුළු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, උතුරු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, දකුණු දිශාවෙන් දිය එන මඟක් නොවන්නේද, මේඝයද කලින් කල මනාකොට වර්ෂා ජලය ඇතුල් නොකරන්නේද, වැලිදු ඒ දිය විලෙන් සිහිල්වූ ජල ධාරාවෝ උඩට බිඳගෙන නැග ඒ දිය විලම සිහිල්වූ ජලයෙන් මනාව තෙමන්නේද, පුරවන්නේද, හාත්පස පතුරන්නේද, සියලුම මේ දිය විල පිළිබඳ කිසි තැනක් සිහිල් ජලයෙන් ස්පර්ශ නොකරණ ලද්දේ නොවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂු තෙම මෙම ශරීරය සමාධියෙන් හටගත් ප්රීති සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. හාත්පස පතුරයි. මොහු විසින් සියලුම කය පිළිබඳ කිසි තැනක් සමාධියෙන් හටගත් ප්රීති සැපයෙන් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, ආර්ය්යවූ අඞ්ග පසකින් යුක්තවූ සම්යක් සමාධීහුගේ මේ දෙවන භාවනාව වේ.
“නැවත අනිකක්ද කිමි. මහණෙනි, භික්ෂු තෙම ප්රීතිහුගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්ය්යයෝ කියයිද, තුන්වන ධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය, ප්රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. හාත්පස උතුරයි. මේ සියලුම කරජකය පිළිබඳ කිසි තැනක් ප්රීති රහිතවූ සැපයෙන් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි.