5. 1. 3. 1.
1. ආභිසමාචාර පූරණ සූත්රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම සබ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව රහිත වූයේ, අනාදර වූයේ, සභාග පැවතුම් නැත්තේ, ආභිසමාචාරික වත සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ නොකොට, ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. ශෛක්ෂ ධර්මය සම්පූර්ණ නොකොට, සිල් සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “සිල් සම්පූර්ණ නොකොට, සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ නොකොට, සම්යක් සමාධිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ.
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම බ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත වූයේ, ආදර සහිත වූයේ, සමාන පැවතුම් ඇත්තේ, ආභිසමාචාරික වත (හෙවත් උතුම් හැසිරීම වූවන් වශයෙන් පනවන ලද ශීලය) සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ කොට, ශෛක්ෂ ධර්මය හෙවත් ශෛක්ෂ ප්රඥප්ති ශීලය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කොට, සිව් මහසිල් පුරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “සිව් මහසිල් පුරා, සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ කොට, සම්යක් සමාධිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ.” යි වදාළ සේක.
5. 1. 3. 2.
2. දුතිය ආභිසමාචාර පූරණ සූත්රය
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම සබ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව රහිත වූයේ, අනාදර වූයේ, සභාග පැවතුම් නැත්තේ, ආභිසමාචාරික වත සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ නොකොට, ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. ශෛක්ෂ ධර්මය සම්පූර්ණ නොකොට, සිල් සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “ශීලස්කන්ධය සම්පූර්ණ නොකොට, සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “සමාධි ස්කන්ධය සම්පූර්ණ නොකොට, ප්රඥා ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ.
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම බ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත වූයේ, ආදර සහිත වූයේ, සමාන පැවතුම් ඇත්තේ, ආභිසමාචාරික වත (හෙවත් උතුම් හැසිරීම වූවන් වශයෙන් පනවන ලද ශීලය) සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ කොට, ශෛක්ෂ ධර්මය හෙවත් ශෛක්ෂ ප්රඥප්ති ශීලය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කොට, සිව් මහසිල් පුරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ශීලස්කන්ධය සම්පූර්ණ කොට, සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “සමාධි ස්කන්ධය සම්පූර්ණ කොට, ප්රඥා ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ.” යයි වදාළ සේක.
5. 1. 3. 3.
3. ජාතරූපක්කිලෙස සූත්රය
“මහණෙනි, යම්බඳු කෙලෙසීම්වලින් කෙලෙසුනාවූ ස්වර්ණය මෘදු නොමවේද, කර්මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේද, නැමෙන ස්වභාව ඇත්තක් නොවේද, කර්මාන්තයට මනාකොට නොපැමිණේද,
“එබඳුවූ ස්වර්ණයාගේ මේ කෙළෙසීම් පසක් වෙත්. කවර පසක්ද යත්, යකඩය, ලෝහය, ඊයම්ය, කළු ඊයම්ය, රිදීය යන පසයි.
“මහණෙනි, යම්බඳු කෙලෙසීම්වලින් කෙලෙසුනාවූ ස්වර්ණය මෘදු නොමවේද, කර්මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේද, නැමෙන ස්වභාව ඇත්තක් නොවේද, කර්මාන්තයට මනාකොට නොපැමිණේද, එබඳුවූ ස්වර්ණයාගේ මේ පස වනාහි උපෙක්ෂා වෙත්.
“මහණෙනි, යම් තැනෙක පටන් ස්වර්ණය මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද, ඒ ස්වර්ණය මෘදු වූයේද, කර්මක්ෂම වූයේද, ප්රභාශ්වර වූයේද, නැමීම ඇත්තේ මනාකොට කර්මාන්තයට පැමිණේද, යම් යම් පළඳනා විශේෂයක් කිරීමට කැමති වේද, ඉදින් මුදුවක් පිණිසද, ඉදින් කුණ්ඩලාභරණයක් පිණිසද, ඉදින් ග්රීවාභරණයක් පිණිසද, ඉදින් රන් මාලයක් පිණිසද වේනම්, ඔහුට ඒ අර්ත්ථය සිද්ධ කෙරේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම, යම් කෙළෙසීම්වලින් කිළුටුවූ සිත නොම මෘදු වේද, කර්මක්ෂම නොවේද, ප්රභාශ්වර වූවක් නොවේද, නැමීම් ඇත්තක් නොවේද, ආශ්රවයන්ගේ ක්ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේද, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.
“කවර පසක්ද යත්? කාමාශාවය, ක්රෝධය, සිතෙහි හා කයෙහි අලස බවය, උඬඟු බව හා කුකුස් බවය, සැකය යන පසයි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම, යම් කෙළෙසීම්වලින් කිළුටුවූ සිත නොම මෘදු වේද, කර්මක්ෂම නොවේද, ප්රභාශ්වර වූවක් නොවේද, නැමීම් ඇත්තක් නොවේද, ආශ්රවයන්ගේ ක්ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේද, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.
“මහණෙනි, යම් හෙයකින් වනාහි සිත මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද? ඒ සිත මෘදු වූයේද, කර්මක්ෂම වූයේද, ප්රභාශ්වර වූයේද, නොබිඳින්නේද, ආශ්රවයන්ගේ නැසීමට මනාකොට එකඟවේද, විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කටයුතුවූ යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කිරීම පිණිස සිත එළවාද, ඒ ඒ ධර්මයෙහිම, ඒ ඒ කරුණ ඇති කල්හි ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
“ඉදින් හෙතෙම කැමති නම් අනෙකප්රකාරවූ ඉර්ධි විධිය ලබන්නේය. (මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 6, 8 ඡේදයේ “එකෙක්ව බොහෝ සේ වෙති” යන තැන සිට යෙදිය යුතුයි.) “ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
(මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 70 ඡේදයේ “දිව්ය කණ ....” යන තැන සිට යෙදිය යුතුයි.) ශබ්ද දෙක අසන්නේය. ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.