5. 1. 2. 10.
10. අත්ත පරහිත පටිපන්න සූත්රය
20. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිසද, අනුන්හට වැඩ පිණිසද පිළිපන්නේ වෙයි. කවර පසකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම තෙමේත් සිල්වත් වේද, අනුන්ද ශීල සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් සමාධියෙන් යුක්තවේද, අනුන්ද සමාධි සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් ප්රඥාවෙන් යුක්තවේද, අනුන්ද ප්රඥා සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් අර්හත් ඵල විමුක්තියෙන් යුක්තවේද, අනුන්ද විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් හෙවත් ප්රත්යවෙක්ෂා නුවණින් යුක්තවේද, අනුන්ද විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙහි සමාදන් කරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම තමහට වැඩ පිණිසද, අනුන්හට වැඩ පිණිසද පිළිපන්නේ වෙයි.
දෙවෙනි බල වර්ගය නිමි.
එහි උද්දානය:
අනනුස්සුත ය, කූට ය, සඞ්ඛිත්ත ය, විත්ථත ය, දට්ඨබ්බ ය, නැවත කූට ය, හිත සූත්ර සතර ය යි මේ දසය යි.
3. පඤ්චංගික වර්ගය
5. 1. 3. 1.
1. ආභිසමාචාර පූරණ සූත්රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම සබ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව රහිත වූයේ, අනාදර වූයේ, සභාග පැවතුම් නැත්තේ, ආභිසමාචාරික වත සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ නොකොට, ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. ශෛක්ෂ ධර්මය සම්පූර්ණ නොකොට, සිල් සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “සිල් සම්පූර්ණ නොකොට, සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ නොකොට, සම්යක් සමාධිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ.
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම බ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත වූයේ, ආදර සහිත වූයේ, සමාන පැවතුම් ඇත්තේ, ආභිසමාචාරික වත (හෙවත් උතුම් හැසිරීම වූවන් වශයෙන් පනවන ලද ශීලය) සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ කොට, ශෛක්ෂ ධර්මය හෙවත් ශෛක්ෂ ප්රඥප්ති ශීලය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කොට, සිව් මහසිල් පුරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “සිව් මහසිල් පුරා, සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “සම්යක් දෘෂ්ටිය සම්පූර්ණ කොට, සම්යක් සමාධිය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ.” යි වදාළ සේක.
5. 1. 3. 2.
2. දුතිය ආභිසමාචාර පූරණ සූත්රය
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම සබ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව රහිත වූයේ, අනාදර වූයේ, සභාග පැවතුම් නැත්තේ, ආභිසමාචාරික වත සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ නොකොට, ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. ශෛක්ෂ ධර්මය සම්පූර්ණ නොකොට, සිල් සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “ශීලස්කන්ධය සම්පූර්ණ නොකොට, සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. “සමාධි ස්කන්ධය සම්පූර්ණ නොකොට, ප්රඥා ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ.
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම බ්රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත වූයේ, ආදර සහිත වූයේ, සමාන පැවතුම් ඇත්තේ, ආභිසමාචාරික වත (හෙවත් උතුම් හැසිරීම වූවන් වශයෙන් පනවන ලද ශීලය) සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ආභිසමාචාරික වත සම්පූර්ණ කොට, ශෛක්ෂ ධර්මය හෙවත් ශෛක්ෂ ප්රඥප්ති ශීලය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ශෛක්ෂ ධර්මය සම්පූර්ණ කොට, සිව් මහසිල් පුරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “ශීලස්කන්ධය සම්පූර්ණ කොට, සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. “සමාධි ස්කන්ධය සම්පූර්ණ කොට, ප්රඥා ස්කන්ධය සම්පූර්ණ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ.” යයි වදාළ සේක.