5. 1. 2. 1.
1. පඤ්ච තථාගත බල සූත්රය
[සැවැත් නුවර නිදානයි]
11. “මහණෙනි, මම පෙර නොඅසන ලද චතුරාර්ය්ය සත්ය ධර්මයන්හි විශිෂ්ට ඥානයෙන් දැන කෙළවර කිරීමෙන් පරතෙරට පැමිණියේ ප්රතිඥා කෙළෙමි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්රේෂ්ඨවූ කාරණය ප්රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්රේෂ්ඨවූ ධර්ම චක්රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
“කවර පසක්ද යත්? ශ්රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්ය්ය බලය, ප්රඥා බලය යන පසයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්රේෂ්ඨවූ කාරණය ප්රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්රේෂ්ඨවූ ධර්ම චක්රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.
5. 1. 2. 2.
2. කූටාගාරොපම සූත්රය
12. “මහණෙනි, මේ ශෛක්ෂ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්ය්ය බලය, ප්රඥා බලය යන පසයි. මහණෙනි, මේ වනාහි පඤ්ච ශෛක්ෂ බලයෝ ය.”
“මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කූටයක් හෙවත් මුදුනක් වේද, මෙය උතුම් වේද, මෙය සංග්රහ කිරීම ඇත්තක් වේද, මෙය ගැලපීම ඇත්තක් වේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, මේ ශෛක්ෂ බල පස අතුරෙන් යම් මේ ප්රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි: ‘ශෛක්ෂ බලයවූ ශ්රද්ධා බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්ෂ බලයවූ වීර්ය්ය බලයෙන් යුක්ත වන්නෙමු, ශෛක්ෂ බලයවූ ප්රඥා බලයෙන් යුක්ත වන්නෙමු’ යි. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය” යි වදාළ සේක.
5. 1. 2. 3.
3. සංඛිත්ත බල සූත්රය
13. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්?
ශ්රද්ධා බලය, වීර්ය්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය යන පසයි. “මහණෙනි, මොහු වනාහි බල පසක් වෙත්ය” යි වදාළ සේක.
5. 1. 2. 4.
4. විත්ථත බල සූත්රය
14. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්රද්ධා බලය, වීර්ය්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය යන පසයි.
“මහණෙනි, ශ්රද්ධා බලය කවරේ ද යත්: මහණෙනි, මෙහි ආර්ය්යශ්රාවක තෙමේ ශ්රද්ධා ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බෝධිය අදහා ගනී. ‘ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙන් ද අරහත් වන සේක ... දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’ කියා යි. මහණෙනි, මෙය ශ්රද්ධා බලය යි කියනු ලැබේ.”
“මහණෙනි, වීර්ය්ය බලය නම් කවරේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්ය්ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්ය්ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මේ වීර්ය්ය බලයයි කියණු ලැබේ.
“මහණෙනි, ස්මෘති බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම උතුම්වූ සිහියෙන් යුත් ප්රඥාවෙන් යුක්තවූයේ කළ බොහෝ කල් ඇත්තද, කී බොහෝ කල් ඇත්තද සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේද, මහණෙනි, මෙය ස්මෘති බලයයි කියනු ලැබේ.
“මහණෙනි, සමාධි බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්ය්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මේ සමාධි බලයයි කියනු ලැබේ.
“මහණෙනි, ප්රඥා බලය කවරේ ද යත්: මහණෙනි, මෙහි ආර්ය්යශ්රාවක තෙමේ ප්රඥාවත් වෙයි. හටගැනීම හා විනාශය දක්නා වූ, උතුම් වූ, කෙලෙස් විනිවිදිනා වූ, මැනවින් දුක් ක්ෂය කිරීමට යන ප්රඥාවෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙය ප්රඥා බලය යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල පස වෙත්.”
5. 1. 2. 5.
5. දට්ඨබ්බ බල සූත්රය
15. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්රද්ධා බලය, වීර්ය්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය යන පසයි.
“මහණෙනි, ශ්රද්ධා බලය නම් කොතැන්හි දත යුතුද? සිව් වැදෑරුම් සෝවාන් මාර්ගාඞ්ගයන්හි මෙහි ශ්රද්ධා බලය දත යුතුයි.
“මහණෙනි, වීර්ය්ය බලය නම් කොතැන්හි දත යුතුද? සතර සම්යක් ප්රධානයන්හි මෙහි කී වීර්ය්ය බලය දත යුතුයි.