5. 1. 1. 1.
[සංඛිත්ත සෙඛබල සූත්‍රය]
1. “මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත “පින්වතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්. කවර පසෙක්ද යත්, ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන මේ පසයි. “මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු. කියායි. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයයි වදාළ සේක.”
5. 1. 1. 2.
[චිත්ත සේඛබල සූත්‍රය]
[සැවැත් නිදානය]
2. “මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්. කවර පසෙක්ද යත්, ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන මේ පසයි.
මහණෙනි, ශ්‍රද්‍ධා බලය කවරේද යත්: මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වෙයි. "ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත්, අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය. සුගතය. ලෝකවිදුය. පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව් මිනිසුන්ගේ අනුශාසකය. බුද්ධය. භාග්‍යවත්ය.”යි තථාගතයන්ගේ බෝධිය (බුද්ධගුණ) අදහන්නේ ය. මහණෙනි, මෙය ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ.
“මහණෙනි, හිරි බලය නම් කවරේද යත්: මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාපයට ලැජ්ජා ඇත්තේ වේද, කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනෝ දුශ්චරිතයට, පිළිකුල් කෙරේද? ලාමකවූ අකුශල ධර්‍මයන්ට පැමිණීමට පිළිකුල් කෙරේද, මහණෙනි, මෙය හිරි බලයයි කියනු ලැබේ.
මහණෙනි, ඔත්තප්ප බලය නම් කවරේද යත්: මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාපයට භය ඇත්තේ වේද, කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනෝ දුශ්චරිතයට, භය වේද, ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමට භය වේද, මහණෙනි, මෙය ඔත්තප්ප බලයයි කියනු ලැබේ.
මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කවරේද යත්: මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මෙය වීර්‍ය්‍ය බලයයි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රඥා බලය නම් කවරේද යත්: මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පිරිසිදුවූ කෙළෙසුන් බිඳීම ඇත්තාවූ, මනාකොට දුක් ක්‍ෂය කිරීම පිණිස පවත්නාවූ, පඤ්චස්කන්‍ධයන්ගේ ඇතිවීමද, නැතිවීමද දැනගන්ට සමර්ත්‍ථවූ, විදර්‍ශනා ප්‍රඥාවෙන් හා මාර්‍ග ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙය ප්‍රඥා බලයයි කියනු ලැබේ.
“මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු. ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු'යි කියායි. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයයි වදාළ සේක.”
5. 1. 1. 3.
[දුක්ඛවිහාර සූත්‍රය]
3. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.
“කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට බිය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි.
මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.