4. 6. 7.
[දුතිය ආජඤ්ඤොපම සූත්‍රය]
7. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ රජුගේ යහපත් අජානෙය අශ්ව තෙම රජුට සුදුසු වේ. රාජ වස්තුව වේ. රජුගේ අවයවය යන සංඛ්‍යාවට යේ. කවර සතරකින්ද යත්?
කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් අජානෙය අශ්වයෙක් වර්‍ණයෙන් යුක්තවේද, ශක්තියෙන් යුක්තවේද, වේගයෙන් යුක්ත වේද. උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද,
මහණෙනි, මේ සතර කරුණින් යුක්තවු, රජහුගේ යහපත් අජානෙය අශ්වයා රජුට සුදුසු වේ. රාජ භොගය වේ. රජුගේ කොටසකැයි යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණතෙම පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය. කවර සතරකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව වර්ණසම්පන්නද වෙයි, බලසම්පන්නද වෙයි, ජවසම්පන්නද වෙයි, ආරෝහපරිණාහසම්පන්නද වෙයි.
මහණෙනි, භික්ෂුව කෙසේ නම් වර්ණසම්පන්න වෙයිද? මහණෙනි, මෙහි භික්ෂුව සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වාසය කරයි, ආචාර ගෝචර සම්පන්න වෙයි, ස්වල්ප මාත්‍ර වරදෙහිදු බිය දක්නා සුලු වෙයි, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව වර්ණසම්පන්න වෙයි.
මහණෙනි, භික්ෂුව කෙසේ නම් බලසම්පන්න වෙයිද? මහණෙනි, මෙහි භික්ෂුව අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසද, කුසල ධර්මයන්ගේ උපත පිණිසද, පටන් ගන්නා ලද වීර්යය ඇතිව, ථාමාවත් ව, දැඩි පරාක්‍රම ඇතිව, කුසල ධර්මයන්හි නොබහා තැබූ ධුර ඇතිව වාසය කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව බලසම්පන්න වෙයි.
“මහණෙනි, කෙසේ මහණ තෙම වේගයෙන් යුක්තවූයේ වේද? මහණෙනි, මෙහි භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට නුවණින් දැන සාක්ෂාත් කොට වාසය කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව වේගයෙන් යුක්ත වෙයි.”
“කෙසේ මහණ තෙම උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ආරොහපරිනාහයෙන් යුක්ත වේ.
“මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණතෙම පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය.
4. 6. 8.
[චතුම බල සූත්‍රය]
8. මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්?
වීර්‍ය්‍ය, ස්මෘති, සමාධි, ප්‍රඥා බල යන මේ සතරයි.
4. 6. 9.
[අරඤ්ඤක චිත්තක සූත්‍රය]
9. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරන්ට නුසුදුසුය. කවර සතරකින්ද යත්?