4. 6. 5.
[මහා කුල සූත්රය]
5. මහණෙනි, යම්කිසි කුල කෙනෙක් භොගයන්ගෙන් මහත්වයට පැමිණියාහු බොහෝ කල් නොසිටින්නාහු වෙත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් හෝ එක්තරා එකකින් වේ. කවර සතරකින්ද යත්?
නැතිවූදේ නොසොයත්ද, දිරූයේ ප්රතිසංස්කරණය නොකරත්ද, ප්රමාණ රහිත ආහාර පාන ඇත්තේද, දුශ්ශීලවූ ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ අධිපතිභාවයෙහි තබත්ද,
මහණෙනි, යම් ඒ කුලයෝ භොග යන්හි මහත්වයට පැමිණියාහුද, එය බොහෝ කල් නොපවතිත්ද, ඒ සියල්ල මේ සතර කාරණයෙන් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් හෝ වේ.
මහණෙනි, යම් ඒ කුලයෝ භොගයන්ගෙන් මහත්වයට ගියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් වේ. කවර සතරකින්ද යත්?
නටුවාවූ වස්තුව සොයයිද, දිරූ දෙය ප්රතිසංස්කරණය කරයිද, ප්රමාණවත් ආහාර භෝජන ඇත්තේද, සිල්වත් ස්ත්රියක් හෝ පුරුෂයෙක් අධිපති බැව්හි තබයිද,
මහණෙනි, යම් ඒ කුලයක් භොගයන්හි මහත්වයට පැමිණියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල මේ සතරින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙත්.
4. 6. 6.
[පඨම ආජඤ්ඤොපම සූත්රය]
6. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ රජුගේ යහපත් අජානෙය අශ්ව තෙම රජුට සුදුසු වේ. රාජ වස්තුව වේ. රජුගේ අවයවය යන සංඛ්යාවට යේ. කවර සතරකින්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් අජානෙය අශ්වයෙක් වර්ණයෙන් යුක්තවේද, ශක්තියෙන් යුක්තවේද, වේගයෙන් යුක්ත වේද. උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද, මහණෙනි, මේ සතර කරුණින් යුක්තවු, රජහුගේ යහපත් අජානෙය අශ්වයා රජුට සුදුසු වේ. රාජ භොගය වේ. රජුගේ කොටසකැයි යන සංඛ්යාවට යයි.
මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණතෙම පූජාවට යෝග්යවේ. පඬුරු යවා පූජාවට යෝග්ය වේ. දන්දීමට යෝග්ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය. කවර සතරකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වර්ණයෙන් යුක්තවේද, ශක්තියෙන් යුක්තවේද, වේගයෙන් යුක්තවේද, උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවේද,
මහණෙනි, කෙසේ මහණ තෙම වර්ණයෙන් යුක්ත වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වේද, සුලු වරදෙහිද භය දක්නා සුළු වේද, ශික්ෂාපද දැඩිකොට ගෙන හික්මේද, මහණෙනි, භික්ෂුව මෙසේ සීල සම්පන්නයෙක් වේ. ශික්ෂාපදයන් මනාකොට ගෙන හික්මෙයි. මහණෙනි, මෙසේ මහණතෙම වර්ණයෙන් යුක්තවූයේ වේ.
මහණෙනි, කෙසේ මහණතෙම ශක්තියෙන් යුක්තවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පටන්ගන්නා ලද වීර්ය්ය ඇත්තේ වේද, අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස, කුශල ධර්මයන්ගේ ඉපදවීම පිණිස, කුශල ධර්මයන්හි ශක්තියෙන් යුක්තවූයේ වේද, දැඩි වීර්ය්ය ඇත්තේ වේද, බැහැර නොකරණ ලද වැඩ ඇත්තේ වේද, මහණෙනි, මෙසේ මහණ තෙම ශක්තියෙන් යුක්ත වේ.
මහණෙනි, කෙසේ මහණ තෙම බලයෙන් යුක්තවේද, මහණෙනි, මේ ශාසනයෙහි මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරීමට යන ප්රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙසේ මහණ තෙම බලයෙන් යුක්ත වේ.
මහණෙනි, කෙසේ මහණ තෙම උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ආරොහපරිනාහයෙන් යුක්ත වේ. මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණතෙම පූජාවට යෝග්යවේ. පඬුරු යවා පූජාවට යෝග්ය වේ. දන්දීමට යෝග්ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය.
4. 6. 7.
[දුතිය ආජඤ්ඤොපම සූත්රය]
7. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ රජුගේ යහපත් අජානෙය අශ්ව තෙම රජුට සුදුසු වේ. රාජ වස්තුව වේ. රජුගේ අවයවය යන සංඛ්යාවට යේ. කවර සතරකින්ද යත්?