4. 6. 3.
[සඞ්ගහවන්‍ථු සූත්‍රය]
3. මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරක් වෙත්. කවර සතරක්ද යත්,
දීම, ප්‍රිය වචන, වැඩෙහි යෙදීම, සමානාත්මතාව යන සතරයි.
මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.
4. 6. 4.
[මාලුඞ්ක්‍ය පුත්ත සූත්‍රය]
4. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් ධර්‍මය දේශනා කෙරේවා. යම් ධර්‍මයක් අසා මම හුදකලාවූයේ, වෙන්වූයේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නිවණ කරා යැවූ ආත්ම ඇත්තේ, වාසය කරන්නෙම් නම් යහපති.”
“මාලුඞ්ක්‍ය පුත්‍රය, දහරවූවන්ට කියනුම කවරේද, දිරූ, වෘද්‍ධවූ, මහළුවූ ඔබ, තථාගතයන් වහන්සේගෙන් සංක්‍ෂෙපයෙන් අවවාදය යාඥා කරන්නෙහිද?”
“ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් බණ වදාරාවා. සුගතයන් වහන්සේ මට සංක්‍ෂෙපයෙන් බණ වදාරාවා. මම භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයාගේ අන්‍ර්‍ථය දැනගන්නෙම් නම් යෙහෙක. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට දායාද වන්නෙම් නම් ඉතා යෙහෙක.”
“මාලුඞ්ක්‍ය පුත්‍රය, යම් තැනෙක්හි භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නාහු, උපදිත්ද, තණ්හුප්පාදයෝ සතර දෙනෙකි. කවර සතරක්ද යත්.
“මාලුඞ්ක්‍ය පුත්‍රය, සිවුරු නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී. මාලුඞ්ක්‍ය පුත්‍රය, පිණ්ඩපාතය නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී. සෙනාසන නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී. මෙසේ භව, විභව හේතුවෙන් හෝ මාලුඞ්ක්‍ය පුත්‍රය, නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී.
මාලුඞ්ක්‍ය පුත්‍රය, මහණහට යම් තැනෙක්හි තෘෂ්ණාව උපදිමින් උපදීද, මේ සතර තෘෂ්ණා උපදින තැන්ය.
“මාලුඞ්ක්‍ය පුත්‍රය, යම් හෙයකින් භික්‍ෂුහට තෘෂ්ණාව ප්‍රහීණවූයේ වේද, සිඳින ලද මුල් ඇත්තේ වේද, මුල් හෝ කරටිය සිඳි තල් ගසක් මෙන් කරණ ලද්දාහුද, අභාවයට යවන ලද්දාහුද, මත්තෙහි නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහුද, මාලුඞ්ක්‍ය පුත්‍රය, මේ මහණ තෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරලා දැම්මේය. මනාකොට ප්‍රහානාභිසමයෙන් දුක් කෙළවර කළේයයි කියනු ලැබේ.
ඉක්බිති, ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දේ, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට ගියේය. ඉක්බිති, ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම, හුදකලාවූයේ, වෙන්වූයේ, අප්‍රමත්තවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, කාය ජීවිත නිරපෙක්‍ෂව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා වහාම ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යය අවසන්කොට ඇති නිරුත්තර ඒ අර්‍හත්වය තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. උත්පත්තිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මින් මතු අන් යමක් නැතැයි දැනගත්තේය.
ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම රහතන් වහන්සේලාගෙන් කෙනෙක් වූයේය.
4. 6. 5.
[මහා කුල සූත්‍රය]
5. මහණෙනි, යම්කිසි කුල කෙනෙක් භොගයන්ගෙන් මහත්‍වයට පැමිණියාහු බොහෝ කල් නොසිටින්නාහු වෙත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් හෝ එක්තරා එකකින් වේ. කවර සතරකින්ද යත්?
නැතිවූදේ නොසොයත්ද, දිරූයේ ප්‍රතිසංස්කරණය නොකරත්ද, ප්‍රමාණ රහිත ආහාර පාන ඇත්තේද, දුශ්ශීලවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අධිපතිභාවයෙහි තබත්ද,
මහණෙනි, යම් ඒ කුලයෝ භොග යන්හි මහත්‍වයට පැමිණියාහුද, එය බොහෝ කල් නොපවතිත්ද, ඒ සියල්ල මේ සතර කාරණයෙන් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් හෝ වේ.
මහණෙනි, යම් ඒ කුලයෝ භොගයන්ගෙන් මහත්‍වයට ගියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් වේ. කවර සතරකින්ද යත්?
නටුවාවූ වස්තුව සොයයිද, දිරූ දෙය ප්‍රතිසංස්කරණය කරයිද, ප්‍රමාණවත් ආහාර භෝජන ඇත්තේද, සිල්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධිපති බැව්හි තබයිද,
මහණෙනි, යම් ඒ කුලයක් භොගයන්හි මහත්‍වයට පැමිණියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල මේ සතරින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙත්.