4. 6. 1.
[අභිඤ්ඤාපරිඤ්ඤෙය්‍ය සූත්‍රය]
[සැවැත් නුවර නිදානයි]
1. මහණෙනි, මේ ධර්‍ම සතරක් වෙත්. කවර සතරක්ද යත්.
මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දතයුතු ධර්‍මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රහීන කටයුතු ධර්‍මයෝ ඇත. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන වැඩියයුතු ධර්‍මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ ඇත්තාහ.
මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන, පිරිසිඳ දතයුතු ධර්‍මයෝ කවරේද? පඤ්චඋපාදානස්කන්‍ධයෝය. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් දැන පිරිසිඳ දතයුතු යයි කියත්.
මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රහීන කටයුතු ධර්ම කවරේද? අවිද්‍යාවද, භව තෘෂ්ණාවද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්‍රහීන කටයුතුය.
මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුතුද? සමථයද, විදර්‍ශනාවද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුත්තාහ.
මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුද? විද්‍යාවද, විමුක්තියද යන මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ධර්‍මයෝයි.
4. 6. 2.
[අරියපරියෙසන සූත්‍රය]
2. මහණෙනි, මේ අනාර්‍ය්‍ය සෙවීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ජරා ස්වභාවකොට ඇත්තේම ජරා ස්වභාවයම සොයයි. තමා ව්‍යාධි ස්වභාවයෙන් යුක්තවූයේම, ව්‍යාධි ස්වභාවයම සොයයි. තමා මරණය ස්වභාවකොට, මරණ ස්වභාවය සොයයි. තමන් කිලුටුවූයේම, කිලුටුම සොයයි.
මහණෙනි, මේ සතර අනාර්‍ය්‍යපය්‍රේ‍යසනයෝයි.
මහණෙනි, මේ ආර්‍ය්‍ය පය්‍රේ‍යසනයෝ සතරක් වෙත්. කවර සතරක්ද යත්,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ජරා ස්වභාව ඇත්තේම, ජරා ස්වභාවයෙහි ආදීනව දැන, ජරා නැති, නිරුත්තර, යොගක්‍ෂෙමවූ නිවණ සොයයි. තමා ව්‍යාධි ස්වභාව ඇත්තේම, ව්‍යාධි ස්වභාවයෙහි ආදීනව දැන, ව්‍යාධි නැති, නිරුත්තර, යොගක්‍ෂෙමවූ නිවණ සොයයි. තමන් මරණ ස්වභාව ඇත්තේම, මරණ ස්වභාවයෙහි ආදීනව දැන, අමෘතවූ, නිරුත්තරවූ, යොගක්‍ෂෙමවූ නිර්‍වාණය සොයයි. තමා කිලුටුවූයේම කිළුටු ධර්මයෙහි ආදීනව දැන, කිලිටිනොවූ, නිරුත්තර යොගක්‍ෂෙමය කැමති වෙයි.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය පය්‍රේ‍යසනයෝයි.
4. 6. 3.
[සඞ්ගහවන්‍ථු සූත්‍රය]
3. මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරක් වෙත්. කවර සතරක්ද යත්,
දීම, ප්‍රිය වචන, වැඩෙහි යෙදීම, සමානාත්මතාව යන සතරයි.
මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.
4. 6. 4.
[මාලුඞ්ක්‍ය පුත්ත සූත්‍රය]
4. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් ධර්‍මය දේශනා කෙරේවා. යම් ධර්‍මයක් අසා මම හුදකලාවූයේ, වෙන්වූයේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නිවණ කරා යැවූ ආත්ම ඇත්තේ, වාසය කරන්නෙම් නම් යහපති.”
“මාලුඞ්ක්‍ය පුත්‍රය, දහරවූවන්ට කියනුම කවරේද, දිරූ, වෘද්‍ධවූ, මහළුවූ ඔබ, තථාගතයන් වහන්සේගෙන් සංක්‍ෂෙපයෙන් අවවාදය යාඥා කරන්නෙහිද?”
“ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් බණ වදාරාවා. සුගතයන් වහන්සේ මට සංක්‍ෂෙපයෙන් බණ වදාරාවා. මම භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයාගේ අන්‍ර්‍ථය දැනගන්නෙම් නම් යෙහෙක. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට දායාද වන්නෙම් නම් ඉතා යෙහෙක.”
“මාලුඞ්ක්‍ය පුත්‍රය, යම් තැනෙක්හි භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නාහු, උපදිත්ද, තණ්හුප්පාදයෝ සතර දෙනෙකි. කවර සතරක්ද යත්.
“මාලුඞ්ක්‍ය පුත්‍රය, සිවුරු නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී. මාලුඞ්ක්‍ය පුත්‍රය, පිණ්ඩපාතය නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී. සෙනාසන නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී. මෙසේ භව, විභව හේතුවෙන් හෝ මාලුඞ්ක්‍ය පුත්‍රය, නිසා හෝ භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී.
මාලුඞ්ක්‍ය පුත්‍රය, මහණහට යම් තැනෙක්හි තෘෂ්ණාව උපදිමින් උපදීද, මේ සතර තෘෂ්ණා උපදින තැන්ය.