4. 4. 5. 8.
[තප සූත්‍රය]
48. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවයි. තමා තවන යෝගයන්හි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් අනුන් තවන්නේ වේ. අනුන් තවන යෝගයන්හි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා, තවන්නේද වේ, තමා තවන යෝගයන්හි යෙදුනේද වේ, අනුන් තවන්නේද වේ, අනුන් තවන යෝගයන්හි යෙදුනේද වේ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා නොතවන්නේද වේ, තමා තවන ප්‍රතිපදාවෙන් යුක්ත නොවූයේ වෙයි, අනුන් නොතවන්නේද වේ, අනුන් තවන යෝගයන්හි නොයෙදුනේ වෙයි. හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොපෙලන්නේ, මෙලොවම තණ්හාවෙන් යුක්තවූයේ, නිවුනේ, සිහිල්වූයේ, සැප විඳින්නේ, තමා බ්‍රහ්මයකු කොට වාසය කරයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම තමා තවන්නේ වේද, තමා තැවීමෙහි යෙදුන යෝගයෙන් යුක්තවූ පුද්ගලයා කෙසේ වේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අචේලක (නිර්වස්ත්‍ර) වෙයි, මුත්රාචාර ඇත්තේ වෙයි, අතේ කමින් සිටියි. 'එව' යයි කී විට නොඑයි. 'සිටිනු' යයි කී විට නොසිටියි. ගෙනා දෙය නොපිළිගනියි. උදෙසා කළ දෙය නොපිළිගනියි. ආරාධනය නොඉවසයි.
හෙතෙම සැළි මුව විටින් නොපිළිගනියි. කළ මුව විටින් නොපිළිගනියි. එළිපත අතර සිට නොපිළිගනියි. දඬු අතර සිට නොපිළිගනියි. මෝල්ගස් අතර සිට නොපිළිගනියි. අනුභව කරන දෙදෙනෙකු අතරින් නොපිළිගනියි. ගැබිනියගෙන් නොපිළිගනියි. කිරි දෙන තැනැත්තියගෙන් නොපිළිගනියි. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තියගෙන් නොපිළිගනියි. සංග්‍රහ කරන තැන්වලින් නොපිළිගනියි. යම් තැනක බල්ලෙක් එළඹ සිටීද, යම් තැනක මැස්සන් රංචු ගැසී හැසිරේද, (එතැනින් නොපිළිගනියි). මත්ස්‍ය නොකයි. මාංශ නොකයි. සුරා මේරය හෝ ධාන්‍ය පැසවා ගත් මත්පැන් නොබොයි.
හෙතෙම එක් ගෙයකින් පිඬු සිඟන්නේ හෝ වෙයි, එක් බත් පිඬකින් යැපෙයි. ගෙවල් දෙකකින් පිඬු සිඟන්නේ හෝ වෙයි, බත් පිඬු දෙකකින් යැපෙයි... ගෙවල් සතකින් පිඬු සිඟන්නේ හෝ වෙයි, බත් පිඬු සතකින් යැපෙයි. එක් දාසියක් දුන් දෙයින්ද යැපෙයි, දාසියන් දෙදෙනෙක් දුන් දෙයින්ද යැපෙයි... දාසියන් සත් දෙනෙක් දුන් දෙයින්ද යැපෙයි. එක් වරක් අනුභව කරයි, දින දෙකකට වරක් අනුභව කරයි... දින සතකට වරක් අනුභව කරයි. මෙසේ අඩ මසක් දක්වාද වාර භෝජන පූජාවෙහි යෙදී වෙසෙයි.
හෙතෙම පලා කන්නේද වෙයි, සාමා නම් ධාන්‍ය කන්නේද වෙයි, නීවාර නම් ධාන්‍ය කන්නේද වෙයි, සම් කැබලි කන්නේද වෙයි, මැලියම් කන්නේද වෙයි, කුඩු කන්නේද වෙයි, දමන ලද බත් කන්නේද වෙයි, තල කුඩු කන්නේද වෙයි, තණ කන්නේද වෙයි, ගොම කන්නේද වෙයි. වන මුල් හා ඵල අනුභව කරමින් යැපෙයි, ඉබේ වැටුණු ගෙඩි අනුභව කරන්නේ වෙයි.
හෙතෙම හණ වැහැරිද දරයි, මිශ්‍ර රෙදි වැහැරිද දරයි, මිනී රෙදිද දරයි, පාංශුකූලද දරයි, ගස් පට්ටාද දරයි, අඳුන් දිවි සම්ද දරයි, අඳුන් දිවි සම් කැබලිද දරයි, තණ පට්ටාද දරයි, ගස් පට්ටා රෙදිද දරයි, ලෑලි කැබලිද දරයි, කෙසකම්බලද දරයි, වාලකම්බලද දරයි, බකමූණු පියාපත්ද දරයි.
කෙස් රැවුල් උගුල්ලන්නේ වෙයි, කෙස් රැවුල් ඉදිරීමේ යෙදුනේ වෙයි. ආසන ප්‍රතික්ෂේප කරන්නේ (උක්කුටිකව) වෙයි, උක්කුටිකව (ප්‍රවීණව) හිඳින්නේ වෙයි. කටු ඇතිරියෙහි නිදන්නේ වෙයි, කටු ඇතිරියෙහි සයනය කරයි. සවස් කාලය තෙවැනි කොට දියට බැස (පව් සෝදන) වීර්යයෙහි යෙදී වෙසෙයි. මෙසේ අනෙකප්‍රකාර, මෙබඳු අනෙකප්‍රකාර සිරුර තැවීම්, වීර්‍ය්‍යයෙන් යුතුව වාසය කරයි.
මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ආත්මය තවන වීර්‍ය්‍යයෙහි යෙදී ආත්මය තවන්නේ වේ.