4. 4. 5. 5.
[වප්පසූත්‍රය]
45. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. එකල්හි නිඝණ්ඨ ශ්‍රාවකයෙක්වූ, වප්ප ශාක්‍ය තෙමේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි නිඝණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයාට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක:
“වප්පය, මේ ලෝකයෙහි කයින් සංවරවූයේ, වචනයෙන් සංවරවූයේ, සිතින් සංවරවූයේ, අවිද්‍යාවෙන් වෙන්වූයේ, විද්‍යාව ඉපදවූයේ වන්නේය. වප්පය, නුඹ යම් හේතුවකින් පුරුෂයා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහුද, ඒ කාරණය දන්නෙහිද?” “ස්වාමීනි, මේ ලෝකයෙහි පෙර නොපැසුනු විපාක ඇති, පාප කර්‍මයක් කරණ ලද්දේ වේද, ඒ හේතුවෙන් පුරුෂයා කරා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහු වෙත්ද, ස්වාමීනි, මම ඒ කාරණය දනිමි.”
නිඝණ්ඨ ශ්‍රාවකවූ වප්ප ශාක්‍යයා සමග මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ මේ අවසන් නොවූ කථාව වූයේද, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමවතින් නැඟී සිටියේ, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට, “මොග්ගල්ලානය, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද? තොප විසින් කවර අතුරු කථාවක් අවසන් නොවූ කථාව කරණ ලද්දාහුදැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, දැන් මම නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍යයාට, ‘වප්පය, මේ ලෝකයෙහි කයින් සංවරවූයේ, වචනයෙන් සංවරවූයේ, සිතින් සංවරවූයේ, අවිද්‍යාවෙන් වෙන්වූයේ, විද්‍යාව ඉපදවූයේ වන්නේය. වප්පය, නුඹ යම් හේතුවකින් පුරුෂයා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහුද, ඒ කාරණය දන්නෙහිද?’ යි ඇසුවෙමි. මෙසේ කී කල්හි, ස්වාමීනි, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍ය තෙම, ‘ස්වාමීනි, මේ ලෝකයෙහි පෙර නොපැසුනු විපාක ඇති, පාප කර්‍මයක් කරණ ලද්දේ වේද, ඒ හේතුවෙන් පුරුෂයා කරා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහු වෙත්ද, ස්වාමීනි, මම ඒ කාරණය දනිමි.’ යි මට කීවේය. ස්වාමීනි, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප සමග මේ කථාව අවසන් නොවූවක් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේකැ” යි කීයේය.
ඉක්බිති, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍යයාට, භාග්‍යවතුන් වහන්සේ, “වප්පය, ඉදින් ඔබ මට යම් කියන ලද්දකගේ අර්ත්‍ථය නොදන්නෙහි නම් මත්තෙහි මගෙන් ප්‍රශ්ණ කරව. අනුදැනිය යුත්තක් අනුදන්නෙහිය. ප්‍රතික්‍ෂෙප කටයුත්තක් ප්‍රතික්‍ෂෙප කරන්නෙහිය. යම් භාෂිතයක අර්ථය නොදන්නෙහි නම් මගෙන්ම මතු විමසන්නෙහිය: ‘ස්වාමීනි, මෙය කෙසේද, මෙහි තේරුම කුමක්දැ’ යි අපගේ කථා සල්ලාපයක් මෙහි වන්නේය” යි වදාළ සේක.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට අනුදැනිය යුත්තක් අනුදනිමි. ප්‍රතික්‍ෂෙප කළ යුත්තක් ප්‍රතික්‍ෂෙප කරමි. භාග්‍යවතුන් වහන්සේගේ යම් භාසිතයක අර්ත්‍ථයක් නොදන්නෙම්ද, ‘ස්වාමීනි, මෙය කෙසේද, මෙහි අර්ත්‍ථය කවරේදැ’යි භාග්‍යවතුන් වහන්සේම විචාරමි. මෙහි අපගේ කථා සල්ලාපයක් වේවා.”
“වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද? කාය කර්ම ප්‍රත්‍යයෙන් දුක් හා දැවීම් ඇති, යම් ආශ්‍රව කෙනෙක් උපදිත්ද, කාය කර්මයෙන් වෙන්වූවහුට මෙසේ දුක් හා දැවීම් ඇති ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ‘අළුත් කර්මයක් නොකරයි. පරණ කර්‍මය ස්පර්‍ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ. වප්පය. නුඹ යම් හේතුවකින් පුරුෂයා කරා මෙලොව දුක් වේදනා ඇති ආශ්‍රවයෝ ලුහුබඳනාහුද, ඒ කාරණය දක්නාහුද?” “ස්වාමීනි, නොදකිමි.”
“වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද, වාක් කර්මය ප්‍රත්‍යය වීමෙන් දුක හා දැවීම් ඇති යම් ආශ්‍රව කෙනෙක් උපදීද, වාක් කර්මයෙන් වෙන්වූවහුට දුක හා දැවීම් ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ‘අළුත් කර්මයක් නොකරයි. පරණ කර්‍මය ස්පර්‍ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ. වප්පය, යම් හේතුවකින් පුරුෂයා කරා දුක් වේදනා ඇති ආශ්‍රවයෝ මෙලොව ලුහු බඳනාහුද, ඒ කාරණය දක්නාහුද?” “ස්වාමීනි, නැත.”