4. 4. 5. 10.
10. පෙමජායන සූත්රය
50. “මහණෙනි, මේ කරුණු සතරක් හටගනී. කවර සතරක්ද යත්. ඇල්මෙන් ඇල්ම හටගනී. ඇල්මෙන් ද්වේෂය හටගනී. ද්වේෂයෙන් ඇල්ම හටගනී. ද්වේෂයෙන් ද්වේෂය හටගනී.
“මහණෙනි, කෙසේ වනාහි ප්රේමයෙන් ප්රේමය හටගනීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් පුද්ගලයෙකුට යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට යහපත්, හොඳ, මන වඩන දෙයින් ව්යවහාර කරත්. ඔහුට මෙබඳු අදහසක් වේ. ‘මට යම් මේ පුද්ගලයෙක් තෙමේ යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට යහපත්, හොඳ, මන වඩන දෙයින් ව්යවහාර කරත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ඇල්ම උපදවයි. මහණෙනි, මෙසේ වනාහි, ඇල්මෙන් ඇල්ම උපදී.
“මහණෙනි, කෙසේ වනාහි ඇල්මෙන් ද්වේෂය උපදීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකුට යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට අයහපත්, අකාන්ත, අමනාප දෙයින් ව්යවහාර කරත්. ඔහුට මෙසේ වේ. ‘මට යම් මේ පුද්ගලයෙක් තෙම යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට අයහපත්, අකාන්ත, අමනාප දෙයින් ව්යවහාර කරත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ද්වේෂය උපදවා ගනියි. මහණෙනි, මෙසේ වනාහි, ඇල්මෙන් ද්වේෂය උපදී.
“මහණෙනි, කෙසේ වනාහි ද්වේෂයෙන් ප්රෙමය හටගනීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකුට අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට අයහපතින්, අකාන්තයෙන්, අමනාපයෙන් ව්යවහාර කරත්. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මට යම් මේ පුද්ගලයෙක් තෙම අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට අයහපතින්, අකාන්තයෙන්, අමනාපයෙන් හැසිරෙත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ප්රේමය උපදවයි. මහණෙනි, මෙසේ වනාහි, ද්වේෂයෙන් ප්රෙමය උපදී.
“මහණෙනි, කෙසේ වනාහි ද්වේෂයෙන් ද්වේෂය උපදීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් පුද්ගලයෙකුට අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට යහපතින්, කාන්තයෙන්, මන වඩන්නෙන් ව්යවහාර කෙරත්ද. ඔහුට ‘මට යම් මේ පුද්ගල තෙම අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහු යහපතින්, හොඳින්, මන වඩන්නෙන් ව්යවහාර කරත්ය’ යි මෙසේ සිතක් වෙයි. හෙතෙම ඔවුන් කෙරහි ද්වේෂය පහළ කරයි. මහණෙනි, මෙසේ වනාහි, ද්වේෂයෙන්, ද්වේෂය උපදී. මහණෙනි, මේ සතර පහළ වෙත්.
“මහණෙනි, යම් කාලයෙක්හි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව. විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, ප්රථම ධ්යානයට පැමිණ වාසය කරයි. ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.
“මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්යානයට පැමිණ වාසය කරයිද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත. ‘මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම, ප්රීතියගේ වෙන්වීමෙන්, උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති සැප විහරණයකැයි යමක් ආර්ය්යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත. “මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර, දුක් නැති, සැප නැති, උපෙක්ෂාා, ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති, සතරවෙනි ධ්යානයට පැමිණ වාසය කරද්ද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.
“මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම, ආශ්රවයන්ගේ ක්ෂවීමෙන්, ආශ්රව නැති. අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්රඥාවද, මෙලොව තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂකොට, පැමිණ වාසය කරයිද, ඔහුට ඇල්මෙක්, යම් ඇල්මෙක් වූයේද, එයද ඔහුට ප්රහීණ වූයේ වේ. සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය. ඔහුට ඇල්මෙන් යම් ද්වේෂයක් උපදීද, එයද ඔහුට ප්රහීණවූයේ වේ. සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය. ඔහුට ද්වේෂයෙන් යම් ප්රෙමයක් උපදීද, ඔහුට එයද ප්රහීණවූයේ වේ. සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය. ඔහුට ද්වේෂයෙන් යම් ද්වේෂයක් උපදීද, එය ඔහුට ප්රහීණ වූයේය. සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය.
මහණෙනි, මේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී නොසිටී. විරුද්ධව නැඟී නොසිටී. ඇතුලත තෘෂ්ණා දුම් නොහමයි. බාහිර වශයෙන් නොදැවෙයි. වෙමි යන මාන වශයෙන් නොහඟියි.
“මහණෙනි, කෙසේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී සිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය ආත්ම වශයෙන් බලයි. ආත්මය රූපවත්යයි බලයි. ආත්මය කෙරෙහි රූපයයි බලයි. රූපයෙහි ආත්මයයි බලයි. වේදනාව ආත්මය වශයෙන් බලයි. ආත්මය වේදනාවත්යයි බලයි. ආත්මය කෙරෙහි වේදනාවයයි බලයි. වේදනාවෙහි ආත්මයයි බලයි. සංඥාව ආත්ම වශයෙන් බලයි. ආත්මය සංඥාවත්යයි බලයි. ආත්මය කෙරෙහි සංඥාවයයි බලයි. සංඥාවෙහි ආත්මය බලයි. සංස්කාරය ආත්ම වශයෙන් බලයි. ආත්මය සංස්කාරවත්යයි බලයි. ආත්මය කෙරෙහි සංස්කාරයයි බලයි. සංස්කාරයන්හි ආත්මයයි බලයි. විඤ්ඤාණය ආත්ම වශයෙන් බලයි. ආත්මය කෙරෙහි විඤ්ඤාණය යයි බලයි. ආත්මයෙහි හෝ විඤ්ඤාණයයයි බලයි. විඤ්ඤාණයෙහි ආත්මයයිද බලයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී සිටී.