(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)
4. 4. 4. 1.
1. යොධාජීව සූත්‍රය
සැවැත් නුවර නිදානයි.
31. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ යොධ තෙමේ, රජුට සුදුසුවූයේ, රජුගේ වස්තුව වූයේ, රජුට අග්‍රය යන සංඛ්‍යාවට යයි. කවර සතරකින්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි යෝධ තෙම ස්ථානයෙහි දක්‍ෂ වේද, ඈත පනින්නේ වේද, විදුලි එලියෙන් විදින්නේ වේද, මහත් ඝණ ඇති දෙයක් විදින්නේද, මේ කරුණු සතරින් යුක්තවූ යුද්‍ධයෙන් ජීවත්වන්නා රජුට සුදුසු වේ. රජුගේ භෝගය වෙයි. රජුට අග්‍රයයි යන සංඛ්‍යාවට යේ.
මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙමේ, ආහුණෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්‍ෂෙත්‍රයයි. කවර සතරකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ස්ථානයෙහි දක්‍ෂ වේද, ඈත පනින්නේ වේද, විදුලි එලියෙන් විදින්නේ වේද, මහත් ඝණයන් පලන්නේ වේද,
මහණෙනි, මහණතෙම කෙසේ ස්ථානයෙහි දක්‍ෂවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්ද, සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තද, සුලු වරදෙහි බිය දක්නා ස්වභාව වේද, ශික්‍ෂා පදයන් සමාදන්ව රකීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ස්ථානයෙහි දක්‍ෂ වේ.
මහණෙනි, කෙසේ මහණ තෙම දුර හෙන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අතීතානාගත වර්‍තමානවූ, අධ්‍යාත්මිකවූ හෝ, බාහිරවූ හෝ, ඖදාරිකවූ හෝ, සියුම්වූ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, ඈත හෝ, සමීපයෙහි වූ යම් රූපයක් වේද, සියළු රූපය, එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි වේදනාවක් ඇත්ද, යම් වේදනාවක් වේද, සියළු වේදනාව එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි සංඥාවක් ඇත්ද, යම් සංඥාවක් වේද, සියළු සංඥාව එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි සංස්කාරයක් ඇත්ද, යම් සංස්කාරයක් වේද, සියළු සංස්කාරය එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි විඤ්ඤාණයක් ඇත්ද, යම් විඤ්ඤාණයක් වේද, සියළු විඤ්ඤාණය එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුර හෙන්නේ වේ.
මහණෙනි, කෙසේ මහණ තෙම විදුලි එලියෙන් විදින්නේ වේද? හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙසේ මහණ තෙම විදුලි එලියෙන් විදින්නේ වේ.
මහණෙනි, මහණ තෙම කෙසේ මහත් ඝනයක් විදින්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත්වූ අවිද්‍යා සම්බන්‍ධයක් පලයිද, මහණෙනි, මෙසේ මහණ තෙම මහත්වූ ශරීරයක් ප්‍රදාලනය කරන්නේ වේ.
මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙමේ, ආහුණෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්‍ෂෙත්‍රයයි.
4. 4. 4. 2.
2. පාටිභොග රහිත සූත්‍රය
32. මහණෙනි, ධර්ම සතරකට ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙකු නොවේ. කවර සතර දෙනෙකුටද යත්.
ජරා ස්වභාවය නොදිරේවයි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
ව්‍යාධි ස්වභාවය, ව්‍යාධි නොවේවයි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
මරණ ස්වභාවය, නොමැරේවයි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
කිලුටුකරණ, පුනර්‍භවය ඇතිකරවන, කෙලෙස් විඩාව සහිත, දුක්ඛ විපාකවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති, යම් ඒ ලාමක කර්‍ම කෙණෙක් ඇත්ද, ඔවුන්ගේ විපාකය නොඉපදේවායි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.
මහණෙනි, මේ ධර්ම සතරට ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ ඇපකරුවෙක් නැත්තේය.
4. 4. 4. 3.
3. සබ්බදිඨ සූත්‍රය
33. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
“භවත් ගෞතමයන් වහන්ස, යම් කිසිවෙක් මා විසින් මෙසේ දක්නා ලදැයි දක්නා ලද්ද කියයිද, ඉන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් මෙසේ අසන ලදයයි අසන ලද්ද කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් ගන්‍ධ, රස, ඵොඨබ්බ වශයෙන් ගන්නා ලද්දේයයි, මුතය කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් සිතින් දන්නා ලද්දේයයි විඥානය කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැතැයි මෙසේ කියන්නෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි” යි කීයේය.