4. 4. 1. 6.
6. අසංඛෙයකප්ප සූත්රය
156. “මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්යෙය සතරක් වෙත්. කවර සතරක්ද යත්.
මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසෙන්නේ වේද, එය මෙපමණ වර්ෂයයි කියා හෝ, මෙපමණ වර්ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්යා කරන්නට නොහැකිය.
“මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසී සිටීද, එය මෙපමණ වර්ෂයයි කියා හෝ, මෙපමණ වර්ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්යා කරන්නට නොහැකිය.
“මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවේද, එය මෙපමණ වර්ෂයයි කියා හෝ, මෙපමණ වර්ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්යා කරන්නට නොහැකිය.
“මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවී පවතීද, එය මෙපමණ වර්ෂයයි කියා හෝ, මෙපමණ වර්ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්යා කරන්නට නොහැකිය.
මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්යයෝයි.”
4. 4. 1. 7.
7. පබ්බජිතරොග සූත්රය
157. “මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.
“කායික රෝගයෙන් එක් වර්ෂයක් නීරෝගීකම ප්රතිඥා කරණු ලබන, වර්ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, දසවර්ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, විසි වර්ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, තිස් වර්ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, හතලිස් වර්ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, පනස් වර්ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, සත්ත්වයන් දකිත්.
“යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්රතිඥා කරත්ද, ක්ෂීණාශ්රවයන් හැර ඒ සත්ත්වයෝ දුර්ලභ වෙත්.
“මහණෙනි, පැවිද්දාට මේ රෝග සතරක් වෙත්. කවර සතරක්ද යත්.
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත් ආශා ඇත්තේ වේද, දුක් ඇත්තේ වේද, තව තවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නොසතුටුවූයේ වේද, හෙතෙම මහත් ආශා ඇත්තේ, දුක් ඇත්තේ, තව තවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් නොසතුටුවූයේ අවනම්බු නොලැබීමට, ලාභ, සත්කාර, ගුණ කථාව ලැබීමට ලාමක අදහස උපදවයි. හෙතෙම අවනම්බු නොලැබීමට, ලාභ, සත්කාර, ගුණ කථා ලැබීමට නැගිටියි. සෙලවෙයි. වෑයම් කෙරෙයි. හෙතෙම දැනගැනීම පිණිස කුලයන් කරා පැමිණෙයි. දැනගැනීම පිණිස හිඳියි. දැනගැනීම පිණිස බණ කියයි. දැනගැනීම පිණිස මල මූත්ර උසුලයි. මහණෙනි, මේ සතර, පැවිද්දාට රෝගයෝය.
“මහණෙනි, තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතුයි. ‘මහත් ආශා නොවන්නෙමි. දුක් නොවන්නෙමි. තවතවත් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකරින් නොසතුටු නොවන්නෙමු. අවනම්බු ලැබීමට, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා ලැබීමට ලාමක අදහසත් නොකරන්නෙමි. ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා නිසා අවනම්බු නොලැබීමට නොනැගිටින්නෙමි. නොගැටෙන්නෙමි. වෑයම් නොකරන්නෙමි. සීත, උෂ්ණ, බඩසය, පවස්, ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය, වා, අවු, දීර්ඝ ජාතීන්ගේ ස්පර්ශ, නපුරුකොට කියන, නපුරුකොට ආ වචනයන්, දුක්වූ, තියුණුවූ, කටුකවූ, අයහපත්වූ, නොමනාපවූ, පා නගන්නාවූ ශාරීරික වේදනාවන් ඉවසන්නේ වන්නෙමු’ යයි තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
4. 4. 1. 8.
8. පරිහානි ධම්ම සූත්රය
158. එහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු, ‘ඇවැත්නි’ යි කියා ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සතර ධර්මයක් තමා කෙරෙහි දකී. කුශල ධර්මයන්ගෙන් පිරිහෙයි. මේ පිරිහීම භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී යයි නිමාවට යා යුතුයි.
“කවර සතරක්ද යත්, රාගයාගේ විපුලභාවය, ද්වේෂයාගේ විපුලභාවය, මෝහයාගේ විපුලභාවය, ඔහුට ගැඹුරුවූ ස්ථාන අස්ථානයන්හි ප්රඥා චක්ෂුස නොපවතී.