4. 3. 5. 3.
ආලොක සූත්‍රය
43. මහණෙනි, මේ සතර ආලෝකයෝ වෙත්. කවර සතරක්ද යත්?
චන්දාලොකො, සුරියාලොකො, අග්ගාලොකො, පඤ්ඤාලොකො.
මහණෙනි, මේ සතර ආලෝකයෝය. මහණෙනි, මේ සතර ආලෝකයන්ගෙන් යම් මේ ප්‍රඥාලෝකයක් ඇද්ද, එය ශ්‍රේෂ්ඨයි.
4. 3. 5. 4.
ඔභාස සූත්‍රය
44. මහණෙනි, මේ ඔභාස සතරක් වෙත්. කවර සතරක්ද යත්?
චන්දොභාසො, සුරියොභාසො, අග්ගොභාසො, පඤ්ඤොභාසො.
මහණෙනි, මේ සතර ඔභාසයන්ගෙන් යම් මේ ප්‍රඥා ඔභාසයක් ඇද්ද, එය ශ්‍රේෂ්ඨයි.
4. 3. 5. 5.
පජ්ජොත සූත්‍රය
45. මහණෙනි, මේ පජ්ජොත සතරක් වෙත්. කවර සතරක්ද යත්?
චන්දපජ්ජොතො, සුරියපජ්ජොතො, අග්ගිපජ්ජොතො, පඤ්ඤාපජ්ජොතො.
මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයෝයි. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයන්ගෙන් යම් මේ ප්‍රඥාප්‍රද්‍යොතයක් ඇද්ද, එය ශ්‍රේෂ්ඨයි.
4. 3. 5. 6.
කාල සූත්‍රය
46. මහණෙනි, මේ කාල සතරක් වෙත්. කවර සතරක්ද යත්?
කාලයෙහි ධර්‍ම ශ්‍රවණය, කාලයෙහි ධර්‍ම සාකච්ඡාව, කාලයෙහි සමථය, කාලයෙහි විදර්‍ශනාව.
මහණෙනි, මේ සතර කාලයෝයි.
4. 3. 5. 7.
දුතියකාල සූත්‍රය
47. මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙක් මනාකොට වඩනු ලබන්නේ, මනාකොට නැවත නැවත පෙරලන ලද්දේ, ක්‍රමයෙන් ආශ්‍රවයන් ක්‍ෂයට පමුණුවයි. කවර සතරක්ද යත්?
කාලයෙහි ධර්‍ම ශ්‍රවණය, කාලයෙහි ධර්‍ම සාකච්ඡාව, කාලයෙහි සමථය, කාලයෙහි විදර්‍ශනාව.
මහණෙනි, මේ සතර කාලයෝ මනාකොට භාවිතා කරණ ලද්දේ, මනාකොට නැවත නැවත කරණ ලද්දේ, ක්‍රමයෙන් ආශ්‍රවයන්ගේ ක්‍ෂයයට පැමිණෙත්.
මහණෙනි, යම්සේ පර්‍වතයක් මුදුනෙහි මහත්කොට ස්පර්‍ශ කරණ ලද වර්‍ෂාව වස්නා කල්හි ඒ ජලය පහත් භූමි කරා යන්නේ, පර්‍වත කඳුරු ප්‍රදර ශාඛාවන් පුරවත්. පර්‍වත කන්‍දර ප්‍රදරශාඛාවන් සම්පූර්‍ණවීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරවීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා නදීහු පරවත්. කුඩා නදීහු පිරීමෙන් මහා නදී පුරවත්. මහා නදී පිරීමෙන් සමුද්‍ර සංඛ්‍යාත සාගරය පුරවත්.
මහණෙනි, එසේම මේ සතර කාලයෝ මනාකොට වඩනු ලබන්නාහු, මනාකොට පෙරලනු ලබන්නාහු, ක්‍රමයෙන් ආශ්‍රවයන් ක්‍ෂයට පමුණුවත්.
4. 3. 5. 8.
වචීදුච්චරිත සූත්‍රය
48. මහණෙනි, මේ වාක් දුශ්චරිත සතරක් වෙත්. කවර සතරක්ද යත්?
මුසාවාදො, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපො.
මහණෙනි, මේ සතර වාක් දුශ්චරිතයෝය.
4. 3. 5. 9.
වචීසුචරිත සූත්‍රය
49. මහණෙනි, මේ සතර වාක් සුචරිත කෙනෙක් වෙත්. කවර සතරක්ද යත්?
සච්චවාචා, අපිසුනවාචා, සණ්හවාචා, මන්තාභාසා.
මහණෙනි, මේ සතර වාක් සුචරිතයෝය.
4. 3. 5. 10.
සාර සූත්‍රය
50. මහණෙනි, මේ සාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?
සීලසාරො, සමාධිසාරො, පඤ්ඤාසාරො, විමුත්තිසාරො.
මහණෙනි, මේ සතර සාරයෝය.
ආභාවග්ගො පඤ්චමො.
තතියො පණ්ණාසකො.