4. 3. 3. 8.
8. තථාගතබ්භූත සූත්‍රය
28. “මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළවෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ප්‍රජාව තෘෂ්ණාවෙහි ඇලුනාහ. තෘෂ්ණාවෙහි කැමති වූවාහුය. තෘෂ්ණාවෙන් ප්‍රීති වූවාහුය. ඒ ප්‍රජා තොමෝ තථාගතයන් වහන්සේගේ පරිත්‍යාගය ගැන බණ කියද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ යොමුකරයි. දැන ගැනීමට සිත එලවයි.
තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.
“මහණෙනි, මේ ප්‍රජාව මානයෙහි ඇලෙයි. මානයෙහි රතිය උපදවයි. මානයෙන් කැමතිවෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් මාන ප්‍රහාණයට බණ දෙසද්දී ඇසිය යුතු කොට සිතයි. කණ යොමුකරයි. දැන ගැනීමට සිත එලවයි.
මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය ලෝකයෙහි පහළවෙත්.
“මහණෙනි, ප්‍රජාව සසරෙහි ඇලුනේය. සසරෙහි රතිය උපදවයි. සසරට කැමතිවෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් නිවන ගැන කරුණු දෙසද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ නමයි. දැන ගැනීම පිණිස සිත පිහිටුවයි.
මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ තුන්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය ලෝකයෙහි පහළවේ.
“මහණෙනි, ප්‍රජාව අණ්ඩයක් වැනි අවිද්‍යාවට අයත්වූවාය. වැළඳගත්තාය. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ අවිද්‍යා ප්‍රහාණය කරණ ධර්‍මය දෙසද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ නමයි. දැන ගැනීමට සිත පිහිටුවයි.
මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළවේ.
මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ පහළවෙත්.”
4. 3. 3. 9.
9. ආනන්‍දබ්භූත සූත්‍රය
29. “මහණෙනි, අනඳ තෙරුන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙණෙක් වෙත්. කවර සතර කෙනෙක්ද යත්?
“මහණෙනි, ඉදින් භික්‍ෂු පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්ට පැමිණේද, දැකීමෙන් සතුටුවෙයි. ඔවුන්ට එහිදී ආනන්‍ද ධර්‍ම දේශනා කරයි. වදාළ කල්හිද ඒ පිරිස සතුටුවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂු පිරිස තෘප්තනුවූවාහුම වෙත්. ඉක්බිති ආනන්‍ද තූෂ්ණීම්භූත වේ.
“මහණෙනි, ඉදින් භික්‍ෂුණී පිරිසක් අනඳ බලන්ට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී අනඳ බණ වදාරයිද, දෙසූ කල්හිද සතුටුවේද, මහණෙනි, භික්‍ෂුණී පිරිස අතෘප්ත වේද, නැවත ඇනන්‍ද තූෂ්ණීම්භූත වේද,
“ඉදින් මහණෙනි, උපාසක පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්නට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී ආනන්‍ද ධර්‍ම දේශනා කරයිද, වදාළ කල්හිද ඒ පිරිස සතුටු වෙත්ද, මහණෙනි, උපාසක පිරිස අතෘප්තවූයේ වේද, නැවත ආනන්‍ද තෙමේ තූෂ්ණීම්භූත වේද,
“මහණෙනි, ඉදින් උපාසිකා පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්නට පැමිණෙත්ද, දැකීමෙන් ඒ පිරිස සතුටුවූවා වේද, ඉදින් එහි ආනන්‍ද ස්ථවිරයන් බණ වදාරයි. ඒ පිරිස කීමෙන් සතුටුවෙයි. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්ත වූයේම වේ. ඉක්බිති ආනන්‍ද ස්ථවිරයන් තූෂ්ණීම්භූත වේ.
“මහණෙනි, ආනන්‍ද ස්ථවිරයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙත්.”