4. 2. 5. 1.
අසුර පරිවාර සූත්රය
සැවැත්නුවර නිදානයි.
41. “මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“අසුරයන් පිරිවර කොට ඇති අසුරයාය. දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය. අසුරයන් පිරිවර කොට ඇති දෙවියාය. දෙවියන් පිරිවර කොට ඇති දෙවියාය යන සතර දෙනය.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති අසුරයා වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ලාමක ස්වභාව ඇත්තේ වේද, ඔහුගේ පිරිසද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම අසුර පිරිවර ඇති අසුරයාය.
“මහණෙනි, දෙවියන් පිරිවර කොට ඇති අසුරයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය.
“මහණෙනි, පුද්ගල තෙම කෙසේ නම් අසුරයන් පිරිවර කොට ඇති දෙවියා වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස වනාහි දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙවැනි පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති දෙවියෙක් වේ.
“මහණෙනි, කවර පුද්ගලයෙක් දෙව් පිරිස ඇති දෙවියෙක් වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිසද සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම දෙව් පිරිස් ඇති දෙවියෙක් වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.”
4. 2. 5. 2.
පඨම චෙතොසමථ සූත්රය
42. “මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය ලබන්නේ වේ. විදර්ශනා ප්රඥාව නොලබන්නේ වේද,
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විදර්ශනා ප්රඥාව ලබන්නේ වේ. අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය නොලබන්නේ වේ.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය නොලබයි. විදර්ශනා ප්රඥාව නොලබයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය ලබයි. විදර්ශනා ප්රඥාව ලබයි.
“මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.”
4. 2. 5. 3.
දුතිය චෙතො සමථ සූත්රය
43. “මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය ලබන්නේ වේ. විදර්ශනා ප්රඥාව නොලබන්නේ වේද,
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විදර්ශනා ප්රඥාව ලබන්නේ වේ. අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය නොලබන්නේ වේ.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය නොලබයි. විදර්ශනා ප්රඥාව නොලබයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය ලබයි. විදර්ශනා ප්රඥාව ලබයි.
“මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ සමාධිය ලබන්නේ වේද, විදර්ශනා ප්රඥාව නොලබන්නේ වේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් අධ්යාත්මයෙහි අර්පණ චිත්තයෙහි පිහිටා විදර්ශනා ප්රඥාවට යොග කළ යුතුයි. හෙතෙම මෑත කලක අධ්යාත්මයෙහි අර්පණ චිත්තයද ලබන්නේ වේ. අධි ප්රඥා ධර්ම විදර්ශනාවද ලබන්නේ වේ.
“මහණෙනි, එහි යම් මේ පුද්ගලයෙක් විදර්ශනා ප්රඥාව ලබන්නේ වේද, අධ්යාත්මයෙහි අර්පණ සමාධිය නොලබන්නේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් විදර්ශනා ප්රඥාවේ සිට අධ්යාත්මයෙහි අර්පණ සමාධියෙහි වෑයම් කළ යුතුයි. හෙතෙම මෑත භාගයෙහි විදර්ශනා ප්රඥාවද ලබයි. අර්පණ සමාධියද ලබයි.
“මහණෙනි, එහි යම් පුද්ගලයෙක් අධ්යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය නොලබන්නේද, අධිප්රඥා ධර්ම විදර්ශනාව නොලබන්නේද, මහණෙනි, ඒ පුද්ගලයා විසින් ඒ කුශල ධර්මයන්ගේම ප්රතිලාභය පිණිස අධිමාත්ර කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහා වීර්ය්යයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්යක් ප්රඥාවක්ද කටයුතුයි.