4. 2. 4. 10.
10. චතුත්ථ ශ්‍රමණ මචල සූත්‍රය
40. “මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.”
“මහණෙනි, පුද්ගල තෙම කෙසේ ශ්‍රමණ මචල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශෛක්ෂ වේද, නොපැමිණි අර්හත්වය ඇත්තේ, නිරුත්තරවූ නිර්වාණය පතමින් වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය මෙසේය. රූපය පහළවීම මෙසේය. රූපය අස්තඞ්ගම වන්නේ මෙසේය. වේදනාව මෙසේය. වේදනාව පහළවීම මෙසේය. වේදනාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව පහළවීම මෙසේය. සංඥාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය පහළවීම මෙසේය. සංස්කාරය අස්තඞ්ගම වන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය පහළවීම මෙසේය. විඤ්ඤාණයාගේ අස්තඞ්ගමය මෙසේයයි පඤ්ව උපාදානස්කන්ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය කරයි.. “අෂ්ට විමොක්ෂයන් කයින් ස්පර්ශ නොකොට වාසය කරයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.
“මහණෙනි, කෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය මෙසේය. රූපය පහළවීම මෙසේය. රූපය අස්තඞ්ගම වන්නේ මෙසේය. වේදනාව මෙසේය. වේදනාව පහළවීම මෙසේය. වේදනාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව පහළවීම මෙසේය. සංඥාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය පහළවීම මෙසේය. සංස්කාරය අස්තඞ්ගම වන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය පහළවීම මෙසේය. විඤ්ඤාණයාගේ අස්තඞ්ගමය මෙසේයයි පඤ්ව උපාදානස්කන්ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය කරයි.. අෂ්ට විමොක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරයි. “මහණෙනි, මෙසේ වනාහි ශ්‍රමණ පදුම වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ සෙයින් ආයාචනා කරන ලද්දේම සිවුරු පරිභෝග කරයි, ආයාචනා නොකරන ලද්දේ ස්වල්පයක් පරිභෝග කරයි -පෙ- මහණෙනි, මනාකොට කියන්නෙක් යමෙකු ගැන ‘ශ්රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල’ යයි කියන්නේ නම්, මහණෙනි, මනාකොට කියන්නෙක් ‘ශ්රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාල’ යයි කියන්නේ මා ගැනම ය.
“මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වන්නාහුය.”
මචල වර්ගය නිමි.
එහි උද්දානය:
පාණාතිපාත සූත්‍රය, මුසාවාද සූත්‍රය, අවණ්ණ සූත්‍රය, කෝධ සූත්‍රය, තමෝතමපරායන සූත්‍රය, ඔනත සූත්‍රය, පුත්ත සූත්‍රය, සංයෝජන සූත්‍රය, දිට්ඨි සූත්‍රය සහ ඛන්ධ සූත්‍රය යන සූත්‍ර දහය වේ.
5. අසුර වර්ගය
4. 2. 5. 1.
අසුර පරිවාර සූත්‍රය
සැවැත්නුවර නිදානයි.
41. “මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“අසුරයන් පිරිවර කොට ඇති අසුරයාය. දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය. අසුරයන් පිරිවර කොට ඇති දෙවියාය. දෙවියන් පිරිවර කොට ඇති දෙවියාය යන සතර දෙනය.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති අසුරයා වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ලාමක ස්වභාව ඇත්තේ වේද, ඔහුගේ පිරිසද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම අසුර පිරිවර ඇති අසුරයාය.
“මහණෙනි, දෙවියන් පිරිවර කොට ඇති අසුරයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ දෙවියන් පිරිවර කොට ඇති අසුරයාය.
“මහණෙනි, පුද්ගල තෙම කෙසේ නම් අසුරයන් පිරිවර කොට ඇති දෙවියා වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස වනාහි දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙවැනි පුද්ගල තෙම අසුරයන් පිරිවර කොට ඇති දෙවියෙක් වේ.
“මහණෙනි, කවර පුද්ගලයෙක් දෙව් පිරිස ඇති දෙවියෙක් වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිසද සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම දෙව් පිරිස් ඇති දෙවියෙක් වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
4. 2. 5. 2.
පඨම චෙතොසමථ සූත්‍රය
42. “මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අධ්‍යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය ලබන්නේ වේ. විදර්ශනා ප්‍රඥාව නොලබන්නේ වේද,
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විදර්ශනා ප්‍රඥාව ලබන්නේ වේ. අධ්‍යාත්මයෙහි අර්පණ චිත්ත සමාධිය නොලබන්නේ වේ.