4. 2. 3. 5.
5. දුතිය චතුරඞ්ග සූත්රය
25. “මහණෙනි, මේ අග්රයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
අග්ර රූපය, අග්ර වේදනාව, අග්ර සංඥාව, අග්ර ආත්මභාවය යන සතර දෙනය.
“මහණෙනි, මේ සතර අග්රයෝයි.”
4. 2. 3. 6.
6. සියාකංඛා (කුසිනාරා) සූත්රය
26. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කුසිනාරා නුවර, උපවත්තන නම් මල්ල රජූන්ගේ සල් වනයෙහි සල් ගස් දෙක අතරෙහි පිරිනිවන් පාන සමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ යි කියා භික්ෂූණ්ට ආමන්ත්රණය කළ සේක. ඒ භික්ෂූහු, ‘පින්වතුන් වහන්සැ’ යි කියා භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ එතදවොච :
“භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි, එක් භික්ෂුවකට වත් බුදුන් කෙරෙහි හෝ, ධර්මය කෙරෙහි හෝ, සංඝයා කෙරෙහි හෝ මාර්ගයක් ගැන හෝ ප්රතිපදාවක් ගැන හෝ සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම් අසව්. ‘ශාස්තෲන් වහන්සේ අපට හමුවූහ. භාග්යවතුන් වහන්සේ හමුවෙහිදී අපට අසන්නට නොලැබුනේය’ යි පසුව විපිලිසර නොවව්’ යයි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“දෙවනුවත් භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි, එක් භික්ෂුවකට වත් බුදුන් කෙරෙහි හෝ, ධර්මය කෙරෙහි හෝ, සංඝයා කෙරෙහි හෝ මාර්ගයක් ගැන හෝ ප්රතිපදාවක් ගැන හෝ සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම් අසව්. ‘ශාස්තෲන් වහන්සේ අපට හමුවූහ. භාග්යවතුන් වහන්සේ හමුවෙහිදී අපට අසන්නට නොලැබුනේය’ යි පසුව විපිලිසර නොවව්’ යයි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“තුන්වෙනුවත් භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි, එක් භික්ෂුවකට වත් බුදුන් කෙරෙහි හෝ, ධර්මය කෙරෙහි හෝ, සංඝයා කෙරෙහි හෝ මාර්ගයක් ගැන හෝ ප්රතිපදාවක් ගැන හෝ සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම් අසව්. ‘ශාස්තෲන් වහන්සේ අපට හමුවූහ. භාග්යවතුන් වහන්සේ හමුවෙහිදී අපට අසන්නට නොලැබුනේය’ යි පසුව විපිලිසර නොවව්’ යයි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ශාස්තෲන් වහන්සේ කෙරහි ගෞරවයෙන් නොවිචාරන්නහු වෙත්නම්, මහණෙනි, සහායකයෙක් සහායකයෙකුට කියාවා. (මම ඔහු හා කථා කරන්නෙමි.) මෙසේ වදාළ කල්හි ඒ භික්ෂූහු තුෂ්ණීම්භූත වූවාහුය.
“ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, ආශ්චර්ය්යයි. ස්වාමීනි, පුද්රමයි. ස්වාමීනි, මම මේ භික්ෂු සංඝයා කෙරෙහි මෙසේ පැහැදුනෙමි. මේ භික්ෂු සංඝයා අතර එක භික්ෂුවකටවත් බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ ප්රතිපදාව කෙරෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නැත්තේය’ යි කීහ.
“ආනන්දය, ඔබ ප්රසාදය කියන්නෙහිය. ආනන්දය, තථාගතයන් වහන්සේට මෙහි ප්රත්යවේක්ෂා ඥානය වේ. මේ භික්ෂු සංඝයා අතර එක භික්ෂුවකටවත් බුදුන් කොරහි හෝ ධර්මයෙහි හෝ සංඝයා කෙරෙහි හෝ මාර්ගයෙහි හෝ ප්රතිපදාවෙහි හෝ සැකයක් හෝ වෙනත් මතයක් හෝ නැත.
“ආනන්දය, මේ පන්සියයක් භික්ෂූන්ගෙන් යමෙක් බාල භික්ෂුවක් වේද, හෙතෙම සෝවාන්ය. නිරයට නොයන ස්වභාව ඇත්තේය. සුගති නියතය. රහත්බව පිහිටකොට ඇත්තේය.”
4. 2. 3. 7.
7. අචින්තෙය්ය සූත්රය
[සැවැත් නුවර නිදානයයි]
27. “මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද,
“ධ්යාන ඇත්තහුගේ ධ්යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද,
“කර්ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද,
“ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද,
“මහණෙනි, මේ සතර නොසිතිය යුතුය. යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වේද, නොසිතිය යුතු, නොසිතිය යැකි මේ කරුණු සතරය.”